Andrew-Symonds-dies

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වින්ස්ලන්තයේදී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ක්වීන්ස්ලන්ත පොලිසිය පවසන්නේ ටවුන්ස්විල් සිට කිලෝමීටර් 50ක් (සැතපුම් 31ක්) පමණ දුරින් පිහිටි හර්වි රේන්ජ් ප්‍රදේශයේ සිදුවූ මාරක තනි වාහන අනතුරකින් ඔහු බරපතල තුවාල ලබා හමුවූ බවයි.සෙනසුරාදා පෙරවරු 11.00 ට පමණ සිදුවූ අනතුර අවස්ථාවේ හදිසි සේවා නිලධාරීන් වහා පැමිණ සයිමන්ඩ්ස් නැවත පණ ගැන්වීමට උත්සාහ කළ නමුත් ඔහුගේ අධික ලේවහනය හා තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බව පොලිසිය වාර්තා කරයි.


මියයන විට 46 හැවිරිදි වියෙහි පසුවූ ඇන්ඩෲ සයිමන්ඩ්ස් ලෝක කුසලානය දෙවරක් ඕස්ට්‍රෙලියාවට ගෙන ඒමට දායක වූ ක්‍රීඩකයෙකි.
සයිමන්ඩ්ස් 2004 සහ 2008 අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට ක්‍රීඩා කළ අතර එක්දින ජාත්‍යන්තර තරග 198ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 14ක් ක්‍රීඩා කළේය.



2012 දී විශ්‍රාම ගැනීමෙන් පසු සයිමන්ඩ්ස් ෆොක්ස් ස්පෝර්ට්ස් හි රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස සේවය කළේය.
ක්‍රිකට් තරුවක් සහ සංස්කෘතියේ වීරයෙක් වන ඇන්ඩෲ සයිමන්ඩ්ස්ගේ අභාවය දැනගැනීමෙන් ඔහුගේ රසිකකණ්ඩායම් කම්පනයට පත්ව තිබේ.
 ඔහුගේ වියෝව ගැන අතිශය කම්පනයට පත්වූ බව ඔහු නියෝජනය කළ ‘කෙන්ට් ක්‍රිකට්‘ සමාජය ට්විටර් හි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ෂේන් ​​වෝන් සහ රොඩ් මාෂ්ගෙන් පසු මේ වසරේ මිය ගිය තුන්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් දැවැන්තයා සයිමන්ඩ්ස් වේ.