
අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. කැවුම්, කොකිස්, ආස්මි, බූන්දි ඇතුළු රස කැවිලි වර්ග
විශාල ලෙස අවුරුදු සමයේදී අලෙවි වන බවත්, එහෙත් මෙවර රසකැවිලි තොග අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. රසකැවිලි, නිමි ඇඳුම්, ඇලුමිනියම් භාණ්ඩ, මැටි භාණ්ඩ, පපඩම්, නුඩ්ල්ස්, ගිනිකෙළි නිෂ්පාදන, කුළුබඩු ඇතුළු භාණ්ඩවල තොග මාර්තු 25වැනිදා සිට මේ මස 05වැනිදා දක්වා කාලය තුළදී පිටකොටුව හා පමුණුව මූලික කර ගනිමින් වෙළෙඳුන් විසින් රැගෙන යන බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට එක් හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට පළාත්වලට භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන නොමැති වීම බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා නිමි ඇඳුම් ඇතුළු සියලුම භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, රසකැවිලි කෙටිකාලයක් තුළ කල් ඉකුත් වීම සිදුවන නිසා රසකැවිලි
නිෂ්පාදකයන්ට මෙවර බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය. අලුත් අවුරුදු සමයේදී විශාල වශයෙන් භාණ්ඩ අලෙවි කර ගැනීමට හැකි නිසා බොහෝ ව්‍යාපාරිකයන් බැංකු ණය ලබාගෙන භාණ්ඩ නිෂ්පාදනය කර තිබෙන බවත්, භාණ්ඩ අලෙවිය අඩුවීමත් සමග බැංකු ණය ගෙවා ගැනීමටත් ව්‍යාපාරිකයන්ට නොහැකි වන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ඉන්දික හෝවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval