rambukkana-incident-igp

රඹුක්කනදී විරෝධතාකරුවන් පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී පොලීසියට අවම බලය භාවිත කිරීමට සිදුවූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
රඹුක්කන විරෝධතාවය අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා
පැවසුවේ පොලීසිය බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සෙවීමට අමාත්‍යාංශ මට්ටමින් පියවර ගෙන ඇති බවය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා,

"පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයටක ගිනි
තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළා."



"ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම
හේතුවෙන් බැටන් ප්‍රහාරයක් හරහා විසුරුවා හැරීමට කටයුතු කළා."

"තවදුරටත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ව
මැඩපැවැත්වීම සඳහා පියවර ගත්තා."

"එහිදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස්
නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළා."

"එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද එහිදි බරපතළ
ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි
අවම බලය යෙදවීමට කටයුතු කළා."

"එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි
තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා."



"තවදුරටත් පොලිස් ඇඳිරීනීතිය පැනවීමටත් කටයුතු කළා."

මෙහිදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද
විමර්ශනයක් සිදු කිරීමට මා විසින් කටයුතු සිදුකරනවා."

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා,

"කලහකාරී පිරිස ඉන්ධන ලීටර් 33,000කට අධික බවුසර් රථය ගිනි තැබීමට කටයුතු කළා නම් විශාල
හානියක් සිදුවෙන්න තිබ්බා."

"පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කළා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මා විසින්
මණ්ඩලයක් පත් කිරීමට පියවර අරගෙන තියෙනවා."