
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට කළ යෝජනාවට අනුව ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසා තිබේ. මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව අවසන් තීන්දුව සඳහා සාකච්ඡා කළ බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තව සුලු මොහොතකින් ඉල්ලා අස්වීමට නියමිත බව ආරංචි මාර්ග දැනුම් දෙයි.
ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරී යන අතර, නව අගමැතිවරයකු යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට සිදුවෙයි.
අගමැතිවරයා ඉල්ලා අස්වූපසු පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති මන්ත්‍රීවරයකුට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කිරීම හෝ යළිත් මැතිවරණයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුවේ.
බොහෝදුරට හෙට (04) වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අනාවරණය කර තිබේ.
පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කර ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය විමල් විරවංශ, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඊයේ ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති අතර, ඔවුන් අද අගමැතිවරයා ද හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කර ඇති බව පැවසේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන නව ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයක් නොදරනු ඇති බවත් මුදල් ඇමති ධුරයට වෙනත් අයෙකු පත් වනු ඇති බවත් පැවසේ.
මෙම නව ආණ්ඩුවෙහි සීමිත අමාත්‍යධුර සංඛ්‍යාවක් පමණක් පිහිටුවනු ඇති අතර නිශ්චිත කාලයකට පසු මහ මැතිවරණයක් සඳහා රටක් මෙහෙය වන තෙක් රට පාලනය කරනු ඇත.
අන්තර් වාර ආණ්ඩුවට සමගි ජනබලවේගය හෝ ජවිපෙ සම්බන්ධ නොවන බවද වාර්තාවේ.
මෙය රාජපක්ෂ විරෝධය තාවකාලිකව යටපත් කර ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස සජබ චෝදනා කර සිටී.