udaya-gammanpila-speaks

වත්මන් අර්බුදයට හේතුවී ඇත්තේ ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමුඛතාව නිසි ලෙස හඳුනා නොගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. පවතින අර්බූදය කොටි ත්‍රස්තවාදයටත් වඩා භයානක බවත්අපායේ ඉන්ටවල් ලැබෙන්නේ මාර්තු මැද බවත් කීය.
රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය.
“දැන් මම කොහොමද තෙල් ගේන්නේ ? එහෙනම් ආණ්ඩුව ඉදිරිපත්වෙලා කියන්න ඕනේ, එක්කෝ අපි බදු අයින් කරන්නම්.. නැත්තම් අපි සහනාධාරයක් දෙන්නම් කියලා. මේ දෙකෙන් එකක්වත් දෙන්නේ නැත්තම්, බැංකුවලින් ණය ගන්නත් බැරිනම් කොහොමද මම තෙල් ගේන්නේ ?. මට කියලා දෙන්න ක්‍රමයක්. මම ලෑස්තියි ඒ ක්‍රමයට කරන්න.”

ප්‍රශ්නය – “ඇත්තටම.. අපිට හිතෙන්නේ තෙල් සංස්ථාව ආණ්ඩුවෙ නෙවෙයි කියලා වගේ ?

අමාත්‍ය උදය ගම්මන්පිල – “එහෙමද දන්නෙත් නැහැ.”



ප්‍රශ්නය – “ඩීසල් සහ පෙට්‍රල් කොච්චර ලංකාවේ තියෙනවද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “විශාල වශයෙන් අඩුවීමකට ලක්වෙලා තිබෙනවා. දැනට අපි ගාව ඩීසල් මෙට්‍රික් ටොන් 22,000ක් තිබෙනවා. දවස් 04කට විතර ප්‍රමාණවත්. හෙට හවස තවත් නැවක් පැමිණීමට නියමිතයි.”

ප්‍රශ්නය – “දින 04ක තිබෙනවා නම් පෝලිම් ඇතිවෙන්නේ කොහොම ද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “වෙනදා රුපියල් 1,000ක නම් ඉන්ධන ගත්තේ.. අද රුපියල් හත්අටදාහක මිලදී ගන්නවා. මන් කිව්වේ.. අපේ මන්ත්‍රීතුමියක් කිව්වා කියලා.. ගෙදර ගිහිල්ලා බැරල් එකකත් පුරව ගන්නවා කියලා. මේ ප්‍රශ්නය නිසා අපි දැන් තීරණය කරලා තිබෙනවා දවසකට මෙට්‍රික්ටොන් උපරිමය 5,000යි නිකුත් කරන්නේ කියලා. ඊළඟට මං හිතන්නේ හෙට ඉඳන් 3,000යි.. යනාදී වශයෙන් අපි සීමා කරලා තමයි නිකුත් කරන්නේ.”

ප්‍රශ්නය – “හෙට තවත් නැවක් එනවා නම් බෙදාහැරීම තවත් අඩු කරන්නේ ඇයි?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “මේ එන නැවට අපි ගෙවීම් කරලා නැහැ. ණයවර ලිපි විවෘත කරලා නැහැ. එතකොට සාමාන්‍යයෙන් වෙනදනම් තත්ත්වය.. ණයවර ලිපි විවෘත කළේ නැත්තම් තෙල් නැවට පටවන්නෙවත් නැහැ. දැන් හෙට දවස ඇතුළත අපි ණයවර ලිපිය විවෘත කරගත්තේ නැත්තම් අනිද්දා ඉඳන් තෙල් ලැබෙන්නේ නැහැ.”

“මහ බැංකුව තෙල් සංස්ථාවට තවදුරටත් ණය දෙන්න එපා කියපු එක ගැන.. මහ බැංකු අධිපතිතුමා ගත්තු තීන්දුවට මම එකඟයි. මොකද මේක මෙහෙම කරන්න බැහැ. මොකද මේ බැංකු දෙක අස්ථාවර වුණොත් ඒක මේ රටේ තෙල් හිඟය ඇතිවෙනවට වඩා භයානකයි.”



ප්‍රශ්නය – “ඒ කියන්නේ ඉස්සරහට මීට වඩා අමාරු තත්ත්වයක්ද තියෙන්නේ ?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “මාර්තු මාසයේ අග සිට අප්‍රේල් අග දක්වා කාලයේ යම් සහාන කාලයක් වෙයි. අපායේ ඉන්ටර්වල් වගේ යම් සහන කාලයක් එයි. අපිට තෙල් ගේන ප්‍රශ්නයනේ ලොකුම ප්‍රශ්නය ආණ්ඩුවට තිබෙන. මොකද ඩොලර් මිලියන 400ක් වගේ වැයවෙන කාරණය තියෙන්නේ තෙල්.”

අමාත්‍ය උදය ගම්මන්පිල – “ඒ සඳහා ඉන්දියානු ණය පහසුකමේ සති 05කට, මාර්තු අන්තිම සතියේ සිට අප්‍රේල් අග දක්වා සති 05ට ඉන්දියානු ණය පහසුකමෙන් ඒ ටික ගන්න පුළුවන්. ඊළඟට ආහාර, ඖෂධ මිලදී ගන්න ඩොලර් බිලියනයක් හම්බෙනවා. එතකොට මේ අප්‍රේල් අග වෙනකන් කාලය යම් සහන කාලයක් වේවි.

“ඊට පස්සේ මේ මුකුත් නිශ්චිත වැඩපිළිවෙලක් නැතුව, ආනයන කළමනාකරණය ගැන, අපනයන ආදායම වැඩි කරගන්න, මේ නිසි කළමනාකරණයක් නැතුව අපි දැන් ණය විතරක් ගත්තොත් වසරක් ඇතුළත වගේ ගෙවන්න ඕනේ.”

“අපි දැන් මේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ගන්න ණය පහසුකමත් ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අපි ගෙවන්න ඕනේ. එතකොට මේ අවුරුද්දේ ණය විතරක් අපි ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 07ක්.”

ප්‍රශ්නය – “අපිට වේලාසන ළඟපාත විසඳුමක් නැද්ද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “ඩොලර් හිඟය නැතිවුණොත් තෙල් හිඟයක් නැතිවෙනවා. අපි කතාකරනවනේ තෙල් හිඟය, විදුලි කප්පාදුව, ගෑස් හිඟය, ඖෂධ හිඟය, සිමෙන්ති හිඟය, යකඩ හිඟය මේ එකක්වත් නෙවෙයි හිඟය. ඩොලර් හිඟය තමයි හිඟය. එතකොට ඩොලර් හිඟය විසඳන්න ක්‍රම දෙකක් තිබෙනවා.”

“පළවෙනි එක තමයි කොහෙන්හරි දැවැන්ත ණය පහසුකම් ගන්න එක එක ක්‍රමයක්. හැබැයි තව එකක් තිබෙනවා ඔබ දන්නවද ගිය අවුරුද්දේ අපේ ආනයන වියදම ඉතිහාසයේ ලොකුම ආනයන වියදම්වලින් එකක්.”



“ඩොලර් බිලියන 21ක්. එතකොට ඩොලර් බිලියන 21න් තෙල්වලට ගිහින් තියෙන්නේ ඩොලර් බිලියන 2.8යි. එතකොට මහ බැංකුවේ විශ්ලේෂණය අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වියදම් කරලා තිබෙනවා ඩොලර් බිලියන 06ක්. ඒක ඇතුළේ පානීය ජලය, මේ වතුර උතුරන රටේ පානීය ජලය ගෙනල්ලා තිබෙනවා. කවුදෝ මට කිව්වා කුරක්කනුත් තිබෙනවා කියලා. එතකොට ඇපල්, මිදි, දොඩම්. ඇහුවම කියන්නේ සංචාරකයන් ඇපල්, මිදි ඉල්ලනවා කියලා. හැබැයි සංචාරකයා ඇවිල්ලා රෑ පැය 04ක් කළුවරේ නම් ඉන්නේ, එයාට රට බලන්න යන්න ඉන්ධන නැතුව හෝටලයට වෙලා තමන්ගේ නිවාඩුව ගතකරන්න වෙනවා නම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නැහැ.”

“එහෙනම් අපි ප්‍රමුඛතා හඳුනාගන්න ඕනේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනගෙන මේවයේ ආනයනය අධෛර්යමත් කරන්න. හැබැයි තාම ඒ පියවර අරගෙන නැහැ. ඒ නිසා තමයි මම ප්‍රශ්න කරන්නේ ඇපල් කාලා කරුවලේ ඉන්නවද?, පිටරටින් ගෙනාපු වතුර බීලා තෙල් නැතුව ගමන් යන්න බැරුව හිරවී ඉන්නවද? කියලා මේ රටේ ජනතාවට තීන්දුවක් ගන්න වෙයි කියලා.”

“මහා ව්‍යසනයක් හමුවේ ඉන්නේ. අපි අද මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකයි.”