rolex-watch-5000

ඉහළ පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ  කොල්ලුපිටිය සිරිකොත මාවතේ පිහිටි නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයකු සහ ඔහුගේ මිතුරකු තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් වන ප්‍රධාන සැකකරු 1994 වර්ෂයේ දී එම විද්‍යාලයෙන් ඉහළම උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුවා බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු වන එම පුද්ගලයාට ඉංග්‍රීසි, දෙමළ, සිංහල, අරාබි මෙන්ම හින්දි භාෂාව ලිවීමට මෙන්ම කතා කිරීමට සහජ දක්ෂතාවයක් ඇත්තෙක් බවද පොලීසිය කියයි. කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමග ඉකුත් ජනවාරි 27 දින නිවස වසා බේරුවල නිවස කරා ගොස් සිටියදී ප්‍රධාන සැකකරු මෙම නිවස බිඳ කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව පවුම් දෙක බැගින් බර වළලු හතරක්,

ඇපල් වර්ගයේ අයිපෑඩ් එකක් සොරාගෙන ගොස් තිබිණි.

කිසිවෙකුත් නැති නිවසේ ප්‍රධාන දොර පා පහරක් එල්ල කළ ද විවර කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව විශාල ගලක් ගෙන දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ බවත් එම අවස්ථාවේදී දී පවුම් දහයක් බර රන් මාලයක් සහ පවුම් පහක් බර රන් තැල්ලක් බිම වැටුණද සැකකරුට ඒ පිළිබඳව හැගීමක් නොවී අනෙකුත් දේපළ රැගෙන නිවසින් පිට වී තිබූ බවත් පොලිසිය කියයි.

සොරකම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් පෙරේරා මහතා අදාළ භාණ්ඩවල විස්තර සහ ඡායාරූප ඇතුළත් කර භාණ්ඩ උගස් කරුවන්ගේ සංගමයේ සභාපතිවරයාට ලිපියක්ද යොමුකර එම දේපළවල ඡායාරූප ඔවුන්ගේ වට්සැප් ගෘප් එකට ද යෙදීමට කටයුතු කර යම් පුද්ගලයකු එම භාණ්ඩ උගස් තැබීමට හෝ විකිණීමට පැමිණියහොත් දැනුම් දෙන ලෙස දැනුම්වත් කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.



එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීම සඳහා වැල්ලම්පිටිය උකස් ආයතනයකට ප්‍රධාන සැකකරුගේ මිතුරා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී එම පුද්ගලයා සන්තකයෙහි ඇපල් වර්ගයේ අයිපෑඩය තිබුණු බවත් ප්‍රධාන සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මරදාන ප්‍රදේශයේ ආයතනයකට උකස් තබන ලද රන් වළලු උණු කර තිබියදී ග්‍රෑම් 28 ක ප්‍රමාණයක් සොයා ගැනීමටත් හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව රණ්ඩු උගස් තබා ලබා ගත් මුදලින් රුපියල් පනස් දහසක් පමණ ගෙවා මිලදී ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් මෙන්ම රුපියල් තිස් දාහක් මුදලක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩෲස් ඉස්ටේට් පුර පදිංචි වයස අවුරුදු 34 හා 39 පසුවන්නන්ය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-