mahinda-speaks-daily-mirror

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවටත් පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය. මෙම ජාතික ආණ්ඩුව යටතේ නුදුරේදීම වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වන බවත් මාධ්‍ය වාර්තා පළ විය.



අග්‍රාමාත්‍යවරයා  සිය ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු කරන බවට පළවන වාර්තා ඊයේ සවස ප්‍රතික්ෂේප කළේය.
Daily Mirror පුවත්පතේ ජමිලා හුසේන් කළ විමසීමකදී  විශේෂ ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ කියා සිටියේ තම ධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්‍රහණය කිරීමට හැකි බව තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශ්වාස බවයි. රටේ ප්‍රශ්න තිබුණත් ඒවා කඩිනමින් විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,

රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී නැති බවත් ඔහු පැවසීය.  අගමැති කීවේ ‘ මට තව කල් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු...මට රනිල් හෝ සජිත් සමඟ කිසිම සම්බන්ධයක්‌ නැහැ.ඒ සියල්ල අසත්‍යයි මැතිවරණයත් අපි දිනනවා.” යනුවෙනි.

ආර්ථික, විදුලිය, ඉන්ධන සහ ගෑස් හිඟය වැනි වත්මන් අර්බුද අවසන් වන්නේ කවදාදැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ රජය මේ සියලු ගැටලු කඩිනමින් විසඳා දෙන බවත් ඔවුන් ඊට වැඩකරමින් සිටින බවත්ය.



ශ්‍රී ලංකාව පත්වී ඇති අර්බුදය විසඳා ගැනීමට සියලු පක්ෂ එකතු වී රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජාතික සම්මුතියක් ළඟදීම ඇති වන බවට එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත ඉඟි පළ කළේය.

    (ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) 2022 මාර්තු 29 ජමිලා හුසේන් ලිපිය ඇසුරිනි)