බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරු සිය නිවසේ සිටියදී පුද්ගලයෙකු සිදු කළ පිහි ඇනුමකින් ඝාතනය වී ඇතැයි වාර්තාවේ.
පිළියන්දල මාවිත්තර පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඇතිවූ ආරවුලකින් පසු ඊයේ රාත්‍රී 8 ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.
මොහුගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කර ඇති අතර ලොකුගේගේ රියැදුරා යතුරුපැදිකරු නවතා පවසා ඇත්තේ තමා ගාමිණි ලොකුගේ ළඟ වැඩ කරන අයෙකු බවත්
නිවසේ දරුවන් ද සිටින නිසා මෙය මහත් හිරිහැරයක් වන බවත් ශබ්දය ඇතිකිරීම නොකරන ලෙසත් යතුරු පැදිකරුට අවවාද කර ඇතැයි පොලිසිය පවසයි.
එම අවවාදය නොරිස්සු තරුණයා කෝපයෙන් පිටව ගොස් ඇති අතර පසුව යලි පැමිණ ඇත්තේ පොලු මුගුරු රැගත් පිරිසක් සමග පිහියක්ද අතැතිවය.
පසුව තරුණයා නිවස ඉදිරිපිටට පැමිණ උඹ මොන ඇමැතියා ළග වැඩ කළත් මට කමක් නැහැ යැයි කියමින් ඔහු සමග දබරයක් ඇති කරගෙන පසුව ඔහුට පොලුවලින් පහරදී පිහියකින් ඇන පළාගොස් තිබේ.
බරපතළ තුවාල ලද රියැදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක (41) නමැති අයෙකු මෙලෙස මියගියේය.ඔහු දෙදරු පියෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය ඊයේ රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් සෝදිසි කර තිබුණ ද සැකකරුවන් ප්‍රදේශය හැර පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval