Students-who-missed-the-bus-offered-to-go-with-the-three-wheeler-and-were-harassed

පාසල් සිසුවියක අපයෝජනය කිරීමට උත්සාහ කළ බවට සැකකරන යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු පෙරේදා (22දා) කොටදෙනියාව යටමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය පවසයි.එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. මීරිගම හල්පේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පාසල් දැරියන් දෙදෙනෙකු ඉකුත් (21දා) උදැසන නගරයේ ඇති පාසල් දෙකකට යැමට බස්නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සුපුරුදු බස්රථයට ගොඩවීමට නොහැකි වී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත.



 මේ අවස්ථාවේ බස්රථය ධාවනය වූ දිසාවටම පැමිණි ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු බස් රථයට ගොඩවීමට නොහැකි වූ මෙම දැරියන් දෙදෙනා පාසලට රැගෙන යන බව පවසා ත්‍රිරෝද රථයේ නංවා ගෙන ගොස් බාල සොහොයුරිය ප්‍රාථමික විද්‍යාලය අසල බස්සවා තිබේ. අනතුරුව දාහතර හැවිරිදි වැඩිමහල් සොහොයුරිය ඇගේ පාසලට රැගෙන යන මුවාවෙන් ඇය බිය ගන්වා  පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් ත්‍රිරෝද රථය තුළම ඇය අපයෝජනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය පොත් බෑගයත්රීයදුරාට පහර දී පැන ගොස් තිබිණි. අත්අඩංගුවට ගෙන ඇති ත්‍රිරෝද රථ රියදුරා එක් දරු පියෙකු වන දැනටත් සේවයේ යෙදී සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු බවට වැඩිදුරටත් කරන ලද පරික්ෂණවලදී හෙළි වූ බවද පොලීසිය කියා සිටියේය.

මීරිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක වික්‍රමාරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඊ.පී.ඇස්.පී සුබසිංහ මහතා හා ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂක මධුෂානි මහත්මිය ප්‍රමුඛ පොලිස් නිලධාරි පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.