Power-cuts-are-getting-worse-no-solution-until-May

ඉන්ධන මඟින් ක්‍රියාත්මක තාප බලාගාරවලට අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව ලැබෙන තෙක් සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රමාණවත්ව පිරී යන තෙක් දැනට පවතින විදුලි කප්පාදුව ඉදිරියත් පවත්වාගෙන යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසා තිබේ.


කෙසේ වෙතත් ඉන්ධන නොලැබීම මත බලාගාර අක්‍රීය වීම සහ ජල විදුලි නිෂ්පාදනය සීමා වීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ප්‍රමාණය පෞද්ගලික බලාගාරයන්ගෙන් ගන්නේ නම් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාව ඇති බව ද  ඔහු කියයි.


ඉන්ධන මඟින් ක්‍රියාත්මක බලාගාර සඳහා මේ වන විට අඛණ්ඩ ඉන්ධන ලැබීමක් සිදු නොවන අතර, විටින් විට ලැබෙන ඉන්ධන ප්‍රමාණයන් මත එම බලාගාර ක්‍රියාත්මක කෙරේ.
මේ සම්බන්ධයෙන් ශ‍්‍රී  ලංකා  මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මෙරට  තිබෙන  සියලුම  විදුලි  බලාගාර  මගින්  විදුලිය  ජනනය  කළත්  මේ  වනවිට  අඛණ්ඩව  විදුලිය  ලබාදීමට  මෙගාවොට්  500  ක  පමණ  හිඟයක්  මතුව තිබෙන  බවය.
හදිසි   මිලදී   ගැනීම්   යටතේ   පෞද්ගලික   ඩීසල්   බලාගාරවලින් මෙගාවොට් 200 ක් මිලදී ගත්තත් අඛණ්ඩව විදුලිබලය  ලබාදීමට  නොහැකි  බව  ගණනය  කිරීමේදී  හෙළිවී ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.


ජල  විදුලි  බලාගාර  ආශ‍්‍රිත  ජලාශවල  ජල  මට්ටම  පහළයෑම  නිසා  ජල  විදුලි  නිෂ්පාදනය  අඩුවීම  නිසා  තාප  බලාගාරවලට  ඇති  තරම්  ඉන්ධන  ලබාදුන්නද  විදුලි  අර්බුදය  අවසන්  නොවන  බව  විදුලිබල  මණ්ඩල  ඉංජිනේරුවෝද කියා ඇති බව කොමිසම දන්වා ඇත.

අප්‍රේල් අග හෝ මැයි මස විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී යන නිරිත දිග මෝසම් වර්ෂාව ලැබෙතැයි අපේක්ෂා කරන අතර, මේ වන විට එම ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙසින් අවම වෙමින් පවතී. ඒ ඔස්සේ විදුලිබල උත්පාදනය ද මේ වන විට 17%ක් වැනි ප්‍රමාණයක් දක්වා අඩු වී ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසා තිබේ.

 අඩු වියදම් සහිත විදුලි  බලාගාර  ඉදිකිරීමට  යම්කිසි  පොදු  එකඟතාවකට පැමිණ ක්‍රියාකිරීමෙන් මිස තවත් මාස 2 ක් පමණ යනතෙක් මෙයට විසඳුම් නැති බව කොමිසම දන්වා තිබේ.