Raja-Elephant-of-Nendungamuwa-bids-farewell

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා අද (07) උදෑසන දිවිසැරිය නිමා කළේය.
මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.


ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි.
කලක් රෝගාතුරව සිටි  හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයකි.
ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ ‘රාජා‘ හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි.
13  වතාවක් දන්ත ධාතුන්වහන්සේ රැගත් කරඬුව වැඩම වූ  හස්තියා උසින් අඩි 10 1/2 ක් පමණ වන අතර අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගල නිසා ගාම්භීරත්වයකින් යුක්ත විය.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

ඉන්දියාවේ සිට මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති හස්තියා එක වර්ෂයකදී කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යයි. දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි.

හස්තිරාජයාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා  පැවසීය.