ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණය ආධාරය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලියට පැමිණීමට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ මන්නාරම ප්‍රදේශ වෙත ඉන්දියාවට වැඩි ප්‍රවේශයක් ලබාදෙන ගිවිසුම් කිහිපයක් අත්සන් කිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කඩිමුඩියේ කටයුතු කර තිබේ. අවස්ථා දෙකකදී කල් දැමූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නවදිල්ලි සංචාරයේ නව දිනයන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ණය ආධාරය සම්බන්ධ වූ ගනුදෙනු කඩිමුඩියේ සිදුකිරීමද විශේෂත්වයකි. මෙම ගිවිසුම් අත්සන් කර දිනකට පසුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවට පැමිණන බවත්, ඔහුගේ සංචාරය ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වනු ඇති බවත්ය.
මෙම ආධාර ලබා ගන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ඖෂධ සැපයුම් සඳහා වන බවද සඳහන් වේ.
සිකුරාදා කොළඹදී එළඹුණු එක් ගිවිසුමක් වන්නේ සීමාසහිත ත්‍රිකුණාමල බලශක්ති සමාගම සඳහා වන, ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව ත්‍රිකුණාමලයේ සාප්පුහි මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදි කිරීම සඳහා වන ගිවිසුමය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටි අතර, ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ නිල නිවේදනය කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් වූ අතර, ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
එහිදී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ, මෙම ගිවිසුම අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ප්‍රමුබතාවන්ට පුළුල් සහ අනෙන්‍ය වශයෙන් වාසිදායි අයුරකින් ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව සතු හැකියාව ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවක් ලෙසය. මෙම ව්‍යාපෘතිය කඩිනම් සහ ඵලදායි අයුරින් ක්‍රියාත්මක කිරීම ධෛර්යමත් කිරීමටද ඒ සඳහා පහසුකම් සැලසීමටද ඉන්දියාව ඉදිරියටත් කටයුතු කරන බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ. එමෙන්ම මන්නාරමේ මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළේය.
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සහාය ඇතිව අදානි සමාගම විසින් මාස තුනකින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන බව එහි සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම පිළිබඳව ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් තවමත් සිදුව නොමැත. මේ සඳහා වන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වනු ඇතැයි පැවසේ. මේ ආකාරයේ ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු බව නීතියෙන් නියම කර ඇති නමුත් ගිවිසුම්කාර දෙපාර්ශ්වය විසින් මෙම නීතිය මඟ හැර ගොස් ඇත්තේ මෙය රාජයන් දෙකක් අතර ඇති කරගන්නා ගිවිසුමක් බවත්, ඉන්දීය රජය විසින් අදානි සමාගම මේ සඳහා නිර්දේශ කරන බවත් පවසමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඉන්දීය අදානි සමාගමේ බලපරාක්‍රමය ඉතා පැහැදිලිව දැන් දැකගත හැකි අතර, එම සමාගම මේ වනවිටත් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස් සමග ව්‍යාපාරයක නිරතව සිටීමෙන්ම එය වඩාත් පැහැදිලිය.
(Sunday Times ඇසුරිනි)

