A-depressed-father-commits-suicide-by-beating-his-three-children-to-death

අද (12) අලුයම ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයේ පියෙකු නිදා සිටී තම දරුවන් තිදෙනාගේ හිස්වලට අමානුෂික ලෙස පොල්ලකින් පහරදී ඔවුන් මියගියායයි උපකල්පණය කර පසුව සියදිවිනසාගත් පුවතක් වාර්තා විය.
සිය බිරිය ඔහු හා පවුල අතැර ගොස් දරුවන් හා දරුවන්ගේ මිත්තණිය සිටි නිවසේ අමාරුවෙන් කුලීවැඩ කරමින් ජීවත්වෙමින් සිටි මෙම 36 හැවිරිදි පුද්ගලයා ඇතිවූ පවුලේ ප්‍රශ්න හා ආර්ථික ප්‍රශ්න ගැන ෆේස් බුක් සටහනක් තබා දරුවන් මරාගෙන මැරෙන්නට මෙසේ සිදු කර තිබුනි.


කෙසේ වෙතත් ඔහුගේ පොලු පහර වැදුණ ඇඳ මත නිදා සිටි 5, 8 පිරිමි දරුවන් දෙදෙනාට සහ 13 හැවිරිදි  දියණිය ලේ විලක් මැද වැටී සිටියත් ඔවුන් තුන්දෙනාම එම අවස්ථාවේ මියගොස් නැත. ඔවුන් මියගියා යයි කල්පණා කර තිබෙන පියා පසුව
 නිවෙස පිටුපස ගසක එල්ලී  ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවය.

මෙසේ මියගොස් ඇත්තේ මිහිර නුවන් චාමිකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් බව මකුලුගස්වැව පොලීසිය කියයි.
දරුවන්ගේ මව මිහිර සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට මාසයකට අධික කාලයක් වන අතර බිරිඳ සමග පැවැති ආරවුල නිසා සිත් තැවුලෙන් සිටි මිහිර ඊයේ රාත්‍රියේ ගීතයක් ද ගායනා කොට ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ.


පසුව සුදු පැහැති කොඩියක ඡායාරූපයක් ද ෆේස්බුක් ගිණුමේ පළ කර තමා ජීවිතයෙන් සමුගන්නා බව මිතුරන්ට සංඥා කොට ඇති අතර අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි දරුවන්ගේ හිස් වලට පොල්ලකින් පහරදී එතැනින් ඉවත්ව දිවිනසාගැනීම සිදුකර තිබේ.
මෙම අපරාධය සිදුකර ඇති බව නිවසේ වාසය කළ දරුවන්ගේ මිත්තණිය දැනගෙන ඇත්තේ දරුවන් කෙඳිරිගාන ශබ්ද ඇසුණ අවස්ථාවේය.
නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වූ පසු මහනුවර මහා රෝහල වෙතමාරු කර යවා තිබේ.තුවාල ලැබූ 13 හැවිරිදි වැඩිමල් දැරිය රෝහලට රැගෙන යද්දී ප්‍රකාශ කර ඇත්තේ,
“මොනවා වුණාද දන්නේ නෑ තාත්තා නං ගැහුව කියල මතක නෑ .” ලෙසිනි.


සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදීම මෙම ඝාතන සැලසුම් කර ෆේස්බුක් ගිණුම හරහා සටහන් තබා තිබී ඇති අතර ඔහු දරුවන්ට පහරදීමට උපයෝගී කරගත් අඩි 3ක් පමණ දිග පොල්ල නිවස පිටුපස සඟවා තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුවේ.