මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ බව කියන කිමිදුම්කරුවකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි. සිය සැමියා සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම පිලිපීන ජාතික කාන්තාව ඇයගේ සැමියා ද සමග වැලිගම කප්පරතොට මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිට ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසුණු පුද්ගලයකු පිලිපීන ජාතික කාන්තාව සමීපයට පිහිනා පැමිණ ඇය ඇඳ සිටි යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය එම පුද්ගලයාට වැර යොදා පා පහරක් එල්ල කර තිබෙන බව පොලිසිය කියයි.
පා පහර කෑ කිමිදුම්කරු දිය යටින් ඈතට පිහිනා ගොස් ඇති බවද පොලිසිය පවසයි. පිලිපීන ජාතික කාන්තාව තමා මුහුණදුන් මෙම අප්‍රසන්න සිදුවීම සිය සැමියාට දැනුම් දී ඔහුත් සමග පැමිණ මේ බව ඇය වැලිගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. මෙම විදේශීය කාන්තාවන්ගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලිස් වසමට අයත් කප්පරකොට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි. වැලිගම මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval