කිරුළ ගැලවුණ මිසිස් ශ්‍රී ලංකා පුෂ්පිකා ද සිල්වා ආන්දෝලනාත්මක පුවත් මවමින් සිටියදී කිරුළ ගලවන්නට මුල්වූ තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ ‘ටෘත් විත් චමුදිත‘ වැඩසටහනට එක්වෙමින්  ඇය මින් පෙර පැවසූ කරුණු වලට පිළිතුරු සැපයූ අතරම පුෂ්පිකාව හෙළාදකිමින් කථා කළ ඔහු ඇය ගැන හෙළිදරව් කිහිපයක්ද සිදු කළේය.



චන්දිමාල් සමග පැවති මිනිත්තු 43 ක සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ පුෂ්පිකා ලංකාවේ සිට ඇමරිකානු තරගාවලියට යාමට පෙර මාස ගණනාවක් තිස්සේ කළමනාකරුවෙකු යටතේ පුහුණුව ලැබූ බවත් තරග අවස්ථාවට එම කළමනාකරු හා ඇගේ රූපලාවන්‍ය ශිල්පිනියද කැටුව ගිය බවයි.

තමාට පවතින කාර්ය බහුලත්වය නිසා එම තරගයට යාමට උවමනාවක් නොතිබූ නමුත් සහභාගීවීම සඳහා දිගින් දිගටම ඇය ඇවිටිලි කළ නිසා ගිය බවයි. පසුව මේ සිව්දෙනාම පළමුව ඇමරිකාව බලා ගමන් කර තිබූ අතර පසුව අවසන් තරගයට ආසන්න දිනයක රෝසි සේනානායක මහත්මිය වෙනම යානයකින් දෙවනුව එහි පැමිණි බවයි. රෝසි සේනානායක මහත්මියට එහි පැමිණෙන්නට ආරාධනා කළේ මිසිස් වර්ල්ඩ් ඇමරිකානු ආයතනය බවද චන්දිමාල් හෙළි කළේය.
මෙම 5 දෙනා සඳහා ඇමරිකාවට යාමට ගුවන් ගමන් සඳහා යන වියදම් සියල්ල මිසිස් වර්ල්ඩ් ආයතනය ගෙවූ බවත් පුෂ්පිකා ඒවා තමන් ගෙවූ බව පවසන්නේ එම ප්‍රතිගෙවීම තෙක් වියදම ඇයගේ හිතවතුන් මාර්ගයෙන් ලබාගෙන ඇය ගෙවීමට ඉදිරිපත්වූ නිසා බවත් චන්දිමාල් කියයි. ඒ අනුව පුෂ්පිකා මුලින් දැරූ මෙම වියදම් නැවත එරටදී ඇයට ලැබී ඇත.
පුෂ්පිකා අවසන් තරගයෙන් පරාජය වන්නට ප්‍රධාන හේතු තුනක් තමාට හඳුනාගන්නට ලැබූණ බව ඔහු කියා සිටියේය. එකක් නම් ඇය ඉංග්‍රීසි බස මැනවින් හසුරුවන්නට අසමත්වීමය. අනෙක නම් බුද්ධිය විමසීමේ ප්‍රශ්න අසන වටයේදී ඇය ලබාදුන් පිළිතුරු ඉතාම නොගැළපෙන සහ ලකුණු කැපෙනසුලු එකක්වීමය. අනෙක නම් තරගාවලිය ගැන ඇය නිසි අවබෝධයකින් තොරව ‘ගවුමක්‘ ඇඳීම ගැන අනවශ්‍ය උනන්දුවකින් කටයුතු කිරීමය.
එම කරුණු වැඩිදුර පැහැදිලි කරන චන්දිමාල් පවසා සිටියේ පුෂ්පිකාට Question ‘ක්වෙස්චන්‘ යන වචනය උච්චාරණය හරියට කරගන්නට බැරිව දින දෙක තුනක්ම පුහුණු කරන්නට පවා සිදුවූ බවයි.

ලකුණු වැඩි ප්‍රමාණයක් ලැබෙන තීරණාත්මක ප්‍රශ්න උත්තර වටයේදී ‘ඔබට කිරුළ ලැබුනොත් ඉදිරියේදී කරන්නේ කුමක්ද?‘ යන්න ඇගෙන් විමසූ අවස්ථාවේ ඇය ඊට පිළිතුරු දෙනු වෙනුවට ඇයට ලැබුණ මිනිත්තු කිහිපය තුළ පමණ ඉක්මවා 2021 මිසිස් ශ්‍රී ලංකා තරගයේදී ඇයට සිදුවූ අලකලංචිය විස්තර කළ බවත් ලංකාවේ  වැරදි කළ අයට දෝෂාරෝපණ කළ බවත් අවසාන තත්පර කිහිපයේදී පමණක් අදාළ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දුන් බවත්ය.
මේ හේතුවෙන් ඇයට එම වටයේදී ලැබෙන්නට නියමිතව තිබුණ ලකුණු අඩුවන්නට ඇතැයි තමාගේ විශ්වාසය බව කීය.


අනෙක් කාරණය වී ඇත්තේ ඇය ලක්ෂ 35 ක ගවුමක් ඇණවුම් කර එය නිසි වේලාවට නොලැබීම ගැන අනවශ්‍ය ලෙස කරදරවූ බවත් මෙය රූපරාජිණී තරගයක් මිස නිරූපණ තරගයක් නොවූ නිසා ඇඳුම ගැන ඇය කරදරවීම විමතිදායක වූ බවත්ය. කැරොලයින් ජූරි මිසිස් වර්ල්ඩ් කිරුළ දිනුවේ රුපියල් 5000 ක ගවුමක් ඇඳගෙන බවද ඔහු මතක් කළේය.
මෙම තරගයෙන් ඇය ජයගත් බවට ‘මාර්ක් ෂීට්‘ එකක් දුටු බවට ඇය කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රබන්ධ බව පෙන්වා දෙන චන්දිමාල් හැකිනම් ඒවාට සාක්ෂි පෙන්වන ලෙසත් ඒවා සත්‍ය නම් තමා තම ජාතික සංවිධායක තනතුර අතහරින්නට පවා සූදානම් බවත් අභියෝග කළේය.

ඇය කියා සිටින තීරණාත්මක දිවා භෝජනය පැවැත්වුනේ තරගයෙන් පසුව බවත් එහිදී රෝසිගේ කීමට වෙනසක් වුනාය කියන කතාව තේරුමක් නැති එකක් බවත් පැහැදිලි කළේය.ඇය ජයගත්තායයයි කිසිවෙකුඇයට කියා සිටි කතාව බොරුවක් බවත් ඉංග්‍රිසි නොදැනසිටි ඇය එහිදී විදෙස් ජාතිකයන් සමග කතාකරේනැති බවත් කීය.
තරගය අවසානයේ කාමරයට පැමිණි පසු ඇය අවසන් 6 ට තේරුණ බව තමන් දැන සිටි නමුත්
ඇයට 4 වන තැන ලැබුනා යයි කියා සිටියේ ඇයම බවත් එය ලියා දෙන හැටි රෝසි මහත්මියගෙන් අසන අවස්තාවේ රෝසිත් තමාත් විශ්වාස කලේ ඇය කොහෙන් හෝ 4 වන තැනක් ගැන දැනගෙන ඇවිත් ඒ් ගැන කියූ බවත්ය. ඒ නිසා ඒ ගැන විශ්වාස කර ඉල්ලීම අනුව එය ප්‍රකාශය ලියන්නට උදව් කළ බවත්ය. එවැනි කරුණු පවා ඉතාම ප්‍රාථමික ආකාරයට හඩ පට සහිතව ප්‍රසිද්ධ කිරීම ඇයගේ නිර්ලජ්ජිත තත්වය හෙළි කරන බව ඔහු කීය.

එසේම ඇය පවසන ‘කුමන්ත්‍රණය‘ ගැන අදහස් දක්වන චන්දිමාල් ඇමරිකාවේ තරගය පරාජයෙන් පසුව ලංකාවට පැමිණෙන අවස්ථාව දක්වාත් ඉතාම හිතවත්ව තමාත් රෝසිත් සමග සිටි ඇයට එවැනි සැකයක් හෝ නොතිබූ බවත් ලංකාවට පැමිණි විගස යූටියුබ් සාකච්ඡාවකට තමාද සමග එක්වූ අවස්ථාවේ පවා මේ කිසිවක් ගැන කතා නොකළ බවත් කියා සිටියේය.

නමුත් අනපේක්ෂිත ලෙස ඇය ලංකාවට පැමිණ දින 3 කට පමණ පසු මේ කුමන්ත්‍රණ කතාව ඇදගෙන තමාටත් රෝසිටත් එරෙහිව ප්‍රහාර දියත් කරන්නට පටන් ගත් බවත් මෙතරම් උදව් කළ අය හෙළා දකිමින් අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කළ බවත්ය.
ඇයගේ මෙම අනවශ්‍ය කතා බහ ඇමරිකාවට පවා ආරංචි වූ බවද අවසන් තරග විනිශ්චය විවේචනය කිරීම ඇය අත්සන් කළ ගිවිසුම කඩකරන්නක් වූ බවද ඒ ගැන ලෝක විවාහක රූ රැජිණ සංවිධායිකා ටානා මහත්මිය තමාගෙන් විමසූ බවද ඔහු කියා සිටියේය. සියල්ල වාර්තාවූ පසු අවස්ථා දෙකකදී ඇමරිකාවේ සිට තමාට ඇගේ කිරුළ ගැලවීමට උපදෙස් සහිත ඊමේල් ලැබුණ බවත් ලංකාව නියෝජනය කරන්නෙකු මෙන්ම රූප රැජිනියක් වැනි තත්වයකට ඇගේ විවේචන නොගැලපෙන බැවින් ඇයව ඉවත් කරන්නට තමා තම බලතල ප්‍රකාරව කටයුතු කළබවත් කීය.

එයට ප්‍රතිචාර ලෙස ‘ගළවන්න කිරුළක් මං ගාව නැහැ වෝග් ජුවලර්ස් ගාව තියෙන්නෙ‘ යයි කීම මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවූ කතාවක් බව කියන චන්දිමාල් මේ දක්වා සියලුම රූ රැජිණන් තම කිරුළ ගෙදර තියාගෙන සිටියේ නැති බවත් අවශ්‍ය අවස්ථාවක එය රැගෙන යාමට හැකි පරිදි අදාළ අනුග්‍රාහක ආයතනය එය ප්‍රවේශම් කිරීම සිදුවූබවත් දන්වා සිටියේය. කෙසේ වෙතත් ඇයගේ කිරුළ ගැලවීම නිල වශයෙන් සිදුව ඇති නිසා ඇයට තවදුරටත් එය නොලැබෙනු ඇතැයි මතක් කලේය.


ඇගෙන් කිරුළ ගැලවූ පසු දෙවැනිතැන ලැබුණ ආශ්‍යා බස්නායක හට කිරුළ ලබාදීමක් සිදු නොවන බව චන්දිමාල් පැහැදිලි කළේය. එයට එක් හේතුවක් වන්නේ කිරුළට අදාල ලෝක තරගය පවත්වා අවසාන වීමයි. අනෙක් හේතුව පළමු කිරුළ ගැලවූ අවස්ථාවේ ආශ්‍යා ඇතුලු පිරිසක් ගිවිසුම් කඩකරමින් මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වා තරගාවලිය විවේචනය කිරීමයි. ඒනිසා ගැළවූ කිරුළට ලබන නොවැම්බරය තෙක් අලුත් හිමිකාරියක නොමැති බවත් ඊළඟ වසරේ තරගාවලිය වෙනුවෙන් එම කිරුළ පිරිනැමෙනු ඇති බවත්ය.

මේ අතර චන්දිමාල් සිය සම්මුඛ සාකච්ඡාව අතරතුරදී ඇමරිකාවේදී රෝසි මහත්මිය හා තමා සමග  පුෂ්පිකා හිතවත්ව සිටි ආකාරය ඡායාරූප හා වීඩියෝ උදාහරණ පෙන්වමින් පැහැදිලි කළ අතර මේ සියලු හැසිරීම් ලංකාවට පැමිණි පසු වෙනස්වන්නේ ඇය සමග ඇසුරක් පවත්වන දේශපාලකයෙකු නිසා බවට තමාට සැක යයි කියා සිටියේය.

රෝසි මහත්මියගේ එජාප දේශපාලන පක්ෂයේම රෝසි සමග දේශපාලන ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නෙකු මේ පසුපස සිටින බව තමා විශ්වාස කරන බව කීය. පුෂ්පිකාට ඇමරිකාවේ සිටියදී පවා නිරන්තරයෙන් සම්බන්ධවෙමින් පණිවිඩ එවමින් අනුග්‍රාහකයින් සපයමින් උදව් කළේද එකී තැනැත්තා බව තමා විශ්වාස කරන බව කී චන්දිමාල් ඊට සාක්ෂි ඇති බවද කීය.කෙසේ වෙතත් චන්දිමාල් එම පුද්ගලයාගේ නම හෙළි කළේ නැත.