ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සඟසතු කොට පූජා කරන ලදි.
අද (05) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කෙරිණ.
ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැඟිල්ල සඟසතු කොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ට ජනාධිපතිතුමා අතින් පූජා කෙරිණ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ගොඩනැඟිල්ලේ යතුර අනුනායක හිමියන් වෙත පූජා කළේය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භාරකාර ගනේෂ් ධර්මවර්ධන, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : ජිවන් චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )
Comments
Post a Comment
Your comment will be visible after approval