Hemasiri-and-Pujith-acquitted-of-Easter-attack-charges

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.



ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරවය.



විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද, නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පසුගිය දා අදට (පෙබරවාරි 18) දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව යි.


දීර්ඝ නඩු විභාගයකින්  අනතුරුව නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.

2019 ජුනි 6 දා පැවැත්වුණු, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබුණේ,

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල්තියා තොරතුරු ලැබී තිබුණු බව යි.

නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමට ක්‍රියා නොකළේ, එවක ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුවම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙනැ යි තමන් දැනුවත් වී සිටි නිසා බව ඔහු පැවසීය.