තම කැබ් රථයෙන් ගොස් රුපියල් අසූ දහසක් පමණ වටිනා සුනඛයෙකු පැහැර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයෙකු මේ මස (22) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් උචිත ඒකනායක මහතා පෙරේදා

(19දා) නියෝග කළේය. කටියාව යාය 6 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ඉපලෝගම හල්මිල්ලෑව පාර, මානෑව පදිංචිකරුවෙකු විසින් ඉපලෝගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා මෙම සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහු විසින් සොරා ගන්නා ලද බව කියන රුපියල් අසූ දහසක් පමණ වටිනා Rottweiler වර්ගයේ සුනඛයා සොයා ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර මෙම සැකකාර ව්‍යාපාරිකයා විසින් පැමිණිලිකරුගෙන් රුපියල් හැත්තෑ දහසක් ගෙවා වෙනත් සුනඛයෙකු මිලදී ගෙන ඇති අතර පැමිණිලිකරු සතුව තවත් සුනකයන් සිටින බව දැනගත් සැකකාර ව්‍යාපාරිකයා

මෙම Rottweiler වර්ගයේ සුනඛයා පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවට මූලික පොලිස් විමර්ගර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ. පසුගිය දිනක අලුයම දෙකයි තිහට පමණ සැකකාර ව්‍යාපාරිකයා ඔහුට අයත් කැබ් රථයෙන් පැමිණ ඉතා සූක්ෂමව සුනඛයා ආරක්ෂිතව තබා තිබූ කුඩුවේ කම්බි කපා මෙම සොරකම සිදු කර ඇති බව  අධිකරණයේදී අනාවරණය විය.