weligama-senuri-imalsha

සිය ඥාති සොයුරිකගේ කොටහළු මංගල්‍යයට මාතර වැලිගම මුදුකොටුව ප‍්‍රදේශයට ගොස් පසුදින (23) දහවල් වැලිගම වෙරළ උද්‍යානය අසල මුහුදේ දිය නෑමට ගොස් ජීවීතක්ෂයට පත් අම්පේගම ජය උයන ප‍්‍රදේශයේ පදිංචි පී. සෙනුරි ඉමල්ෂා ගේ දේහය ඇය පදිංචිව සිටි කුලී නිවසට ගෙන එනු ලැබීය.

අම්පේගම ප‍්‍රදේශයේ කුලී නිවසක තම ආච්චි අම්මාගේ සෙවණේ සිටි ඉමල්ෂාත් ඇගේ නැඟණියන් දෙදෙනාත් පාසල් ගියේ අම්පේගම ශ‍්‍රී නන්දසාර මහා විද්‍යාලයටයි. ඇගේ මව වන කේ.ජී. ශ‍්‍රීයාණි ඉන්දිකා මුණසිංහ මහත්මිය විදේශගතව සිට මෙයට මාස කීපයකට පෙර පැමිණ අගනුවර ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක රැකියාව කරමින් ඔවුන් පෝෂණය කිරීම සඳහා සිය මව වෙත මුදල් එවා ඇත. ඔවුන්ට ස්ථිර නිවසක් නොමැති කමින් කුලී නිවසක පදිංචිව සිටි නිසාවෙන් එම මුදලින් කොටසක් ඒ සඳහා වැය කිරීමට සිදුව තිබූ අතර බොහෝ ආර්ථික දුෂ්කරතා මැද ආච්චි අම්මා වූ එච්.ජී. කුසුමාවතී මාතාව මෙම දියණියන් තිදෙනා රැකබලා ගෙන පෝෂණය කළාය.



මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වූ අතර නර්තනයට ද සහජ හැකියාවක් දක්වා ඇත. සෙනුරි ඉමල්ෂා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ඇයගේ පාසල් ආචාර්ය මණ්ඩලය, පාසල් සිසු සිසුවියන් සහ අසල්වැසි මිතුරු මිතුරියන් මෙන්ම ඥාතී හිතවතුන් බොහෝ පිරිසක් ඇයට සමදීම සඳහා අප යනවිටත් නිවසේ මහත් ශෝකයෙන් රැඳී සිටියහ.

ඉමල්ෂා ඉගෙනුම ලබන අම්පේගම ශ‍්‍රී නන්දසාර මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. පියරත්න මහතා,

මේ දරුවා පාසලේ හිටපු දක්ෂම, දීප්තිමත්ම දරුවෙක්, පාසලේ ශිෂ්‍ය නායිකාවක්. කලා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතවයි හිටියේ. ඇයට නැටුම් කලාවට විශේෂ දක්ෂතාවයක් තිබුණා. ඒ වගේමයි විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තිබුණු දරුවෙක්. මෙවැනි අකල් මරණ වළක්වා ගැනීම දෙමාපියන් සතු වගකීමක් ලෙස මා දකිනවා. ඒ නිසා ඉදිරියේදීවත් දෙමාපියන් මෙවන් අකල් මරණ සිදු නොවීමට කටයුතු කරයි කියා මා විශ්වාස කරනවා. දැන් ඇත්තේ ඇයට අවසන් ගෞරව දැක්වීමට බැවින් එය අපට හැකි ඉහළම අයුරින් සිදුකිරීමට කටයුතු කරනවා. ඒ සඳහා පාසලේදී පැන් වඩා ඇයට පින් අනුමෝදන් කළා.




ඉමල්ෂා ගේ හොඳම මිතුරියවන රෝෂනී සෙව්වන්දි සිසුවිය,

මේ නැතිවෙලා ඉන්නේ මගේ හොඳම යාළුවා. පන්තියේ අපි දෙන්නා එක ළඟ වාඩිවෙලා ඉන්නේ. කෑම කන්නෙත් එකට. අපි ලබන 29, 30 යන දිනවල ශ‍්‍රී පාද වන්දනාවේ යන්නත් කතා වෙලා හිටියේ. එයා කවදාවත් ශ‍්‍රී පාද වන්දනාවේ ගිහින් තිබුණේ නැති නිසා ඒ ගමන යන්න හරිම සතුටින් හිටියේ. ආච්චි අම්මා ගෙන් බොහොම අමාරුවෙන් සල්ලි ඉල්ලා ගෙන මාත් එක්ක ගිහින් ඇඳුමකුත් අරගෙන

ආවා. ඥාති සොයුරියකගේ මල්වර උත්සවයට වැලිගම ප‍්‍රදේශයට ගිය ඉමල්ෂාට නොසිතූ අයුරින් සිදුවූයේ එම ඥාති සොයුරියත් සමග වැලිගම මහුුදු පතුල යට සිය අවසන් හුස්ම පොද පිටකරන්නටය. ආර්ථික අපහසුතා මැද දිවිගෙවූ ඉමල්ෂාගේ මෙම හදිසි වියෝව ඇයගේ පවුලේ අයට දරාගත නොහැකි කරුණක් විය. ඒ බව වටහාගත් පාසලේ විදුහල්පති පුමුඛ ආචාර්ය මණ්ඩලය මෙන්ම ප‍්‍රදේශවාසී හිතවතුන් එක්ව ඉමල්ෂාගේ අවසන් කටයුතු ඉහළම අයුරින් ඉටුකරන්නට ඔවුන්ට ශක්තියක් වූවේ අනෙකුත් ගම්මානවලට ආදර්ශයක් ද ගෙන දෙමිනි.

රටක් බබළවන්නට පෙරුම් පිරූ ඉමල්ෂා ගමක් හඬවමින් ඊයේ (25) මළ හිරු බැසයන යාමයේ බද්දේගම හල්පාතොට පොදු සුසාන භූමියේදී මිහිකත සිප ගත්තාය.

(මාතර– ලලිත් පද්මසිරි වැලිවිටිය දිවිතුර – උපුල් මහේෂ් )