rangajeewa-emil-story
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමූහ ඝාතනයට  ලක්කිරීමේ චෝදනාවට මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල්  රංජන් ළමාහේවා  මහතා වරදකරු බවට ඒකමතිකව තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මරණ දඬුවම ඊයේ (12) නියම කළේය.   ඔහු සමගම එක්ව මෙම අපරාධය කළ බවට චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.  2012 නොවැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කැරලිකාර තත්වයකින් අනතුරුව එහි රඳවා සිටි රැඳවියන් 18  දෙනකු සමූහ වශයෙන් ඝාතනය කළ බවට තොරතුරු  හෙළිවී තිබුණත් නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරන ලද්දේ එහි රඳවා සිටි රැඳවියන් අටදෙනකුගේ ඝාතන සම්බන්ධයෙන් පමණි.


මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග (සභාපති), ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි. සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය ජූරි සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial At Bar) හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) පත් කෙරිණි.



2012 නොවැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමූහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටත්තේ අධිචෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ය. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.  මුල් අවස්ථාවේදී මෙම විත්තිකරුවන් දෙදෙනාට අමතරව බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතාට එරෙහිවද නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබුණත් පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ දී ඔහුට එරෙහිව කිසිදු සාක්කියක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහුට එරෙහිව පියවර නොගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

මෙම නඩුවේ සාක්කි විමසීම ආරම්භ කිරීමටත් මතෙන් රටින් පිටව ගොස් සිටීම හේතුවෙන් ඔහු  නොමැතිව සාක්කි විභාග කළ අතර සාක්කි විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය. නඩුවේ තීන්දුව දහවල් 1.30ට ප්‍රකාශ කරන බව දැනුම් දී තිබුණත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම  සඳහා විනිසුරු මඩුල්ල සවස 5.15ට පමණ විනිශ්වාසනාරූඪ වූ අතර මෙම නඩුව සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඬුලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැවසීය.  2012 නොවැම්බර් 09 වැනිදා සවස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීත් 600ක් පමණ විශේෂ සෝදිසියක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බවත් මරණ දඬුවම නියම වූවන් රඳවා සිටින ඇපල් වාට්ටුව' සෝදිසි කිරීමට යාමේදී මරණ දඬුවම නියම වූ සිරකරුවන් හා පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අතර ගැටුමක් ඇති වූ බවත් සිරකරුවන් ගල්මුල්වලින් සෙබළුන්ට පහර දෙද්දී ඔවුන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඇති බවත් නඩු විභාගයේ දී සාක්කි  ඉදිරිපත් වූ බව සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා  වැඩිදුරටත් පැවසීය.



ඒ අතර සිරකරුවන් බන්ධනාගාරයේ සුළු අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි පැහැරගෙන කලහකාරී ලෙස හැසිරී ඇතැයිද පසුව මධ්‍යම රාත්‍රී කාලයේදී යුද ටැංකි  දෙකක්ද සමගින් බන්ධනාගාරය තුළට කඩා වැදුණු හමුදා සෙබළුන් තත්ත්වය පාලනය කොට සිරකරුවන් අත තිබූ  ගිනි අවි ඔවුන් බාරයට ගෙන පසුව ඒවා යළි බන්ධනාගාර නිලධාරීන්ටම බාරදී ඇති බවට කරුණු ඉදිරිපත් වූ බවද  දැනුම් දුන් විනිසුරුවරයා අලුයම 4.00ට පමණ පළමු විත්තිකාර රංගජීව නමැත්තා ටෝච්' එකක්ද රැගෙන  බන්ධනාගාරයට පැමිණ හමුදා සෙබළුන් විසින් දණගස්වා සිටි සිරකරුවන් අසලට ගොස් ඔවුන් පරික්ෂා කළ බවටද සාක්කි ඉදිරිපත් වී ඇතැයි පැවසීය.  මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 40 දෙනකු සාක්කි දී ඇති බවත් ලේඛන 93ක් ඉදිරිපත් කොට  ඇති බවත් ටයිප් කරන ලද පිටු 5000ක පමණ සාක්කි  ගොනු වී ඇති බවත් විත්ති කුඩුවේ සිට  ප්‍රකාශ ලබාදුන් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් සාක්කිකරුවන්ද අධිකරණයේ සාක්කි  දී ඇති බවත් සඳහන් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිද්ධිය ඇසින් දුටු සහකාර බන්ධනාගාර අධිකාරීන් කුඩාබණ්ඩාර, සුදේශ් චන්දිමාල්, ඉන්දික  පෙරේරා ඇතුළු පිරිසක් සාක්කි දී ඇතැයි ද සඳහන් කළේය.

හමුදා නිලධාරීන්  අල්ලාගෙන දණගස්වා  සිටි නිමල අතපත්තු, මාල සුසන්ත, මාලන්, පොන්න කපිල, මංජු ශ්‍රී, සුසන්ත, කොණ්ඩ අමිල, කළු තුෂාර නමැත්තන් වෙනත් තැන්වලට ගෙන ගිය පසු වෙඩි හඬවල් ඇසුණ බවත් පසුව ඔවුන් බිම වැටී සිටියදී පසුදා දුටු බවට සාක්කි ඉදිරිපත් බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල 2012 සිදුවූ මෙම සිද්ධිය පිළිබඳව 2017 වනතුරු නිසි විමර්ශනයක් වී නැතැයිද 2017දී නව මුහුණුවරකින් හා නව ජවයකින් මේ පිළිබඳ විමර්ශන සිදුවී ඇති බවද සඳහන් කළේය.  කුමන තත්වයක බලපෑමක් මත හෝ විමර්ශනයකදී සිදුවන අගතියේ වාසිය විත්තිකරුට ලබාදිය යුතු බව තීන්දු කළ විනිසුරු මඩුල්ල මෙම සිරකරුවන් රාත්‍රී 12.00ත් පසුදා අලුයම 6.00ත් අතර කාලය තුළ ඝාතනය කොට ඇති බවද තීන්දු කළේය. මෙම සිද්ධියට පෙර අවස්ථාවකදී නඩුවේ දෙවැනි විත්තිකාර එමිල් රංජන් මහතා කළ තුෂාර නමැති විත්තිකරුට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ඔහු   බොරුල්ල පොලිසියට හා මානව හිමිකම්  කොමිසමට පැමිණිලි කොට ඇතැයිද ඒ තත්වය මත එමිල් රංජන් නමැති විත්තිකරුට ඔහු සමග අමනාපයක් තිබී ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ දී හමුදා මේජර්වරයකු සමඟ පැමිණි නඩුවේ දෙවැනි විත්තිකාර එමිල්  රංජන් මහතා කළු තුෂාර නමැත්තා  ගෙන ගොස් ඇති  බවත් අනතුරුව ඔහුගේ වෙඩි   වැදුණු මළ සිරුර බිම වැටී තිබියදී සොයාගෙන ඇති බවත් තීන්දුවේ  සඳහන් කොට ඇත. මේ තත්වය මත කළු තුෂාර නමැති විත්තිකරු පැහැරගෙන යෑම සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් එමිල් රංජන් මහතාට එරෙහිව ප්‍රබල නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ විත්ති වාචක ප්‍රතික්‍ෂේප කරන බවත් තීන්දු කළ විනිසුරු මඩුල්ල කළු තුෂාර නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනාවට ඔහු වරදකරු කළේය.

පළමු විත්තිකාර රංගජීව නමැති විත්තිකරුට එරෙහි  චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීන්දු කළ විනිසුරු මඩුල්ල සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

  දෙවැනි විත්තිකාර එමිල් රංජන් නමැති විත්තිකරුට එරෙහි චෝදනා අතුරින් එක් චෝදනාවක් හැර අනෙකුත්  චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීන්දු කළ විනිසුරු මඩුල්ල කළු තුෂාර නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන චෝදනාවට හැර අනෙකුත් චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.  කළු තුෂාර නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනාවට ඔහු වරදකරු වන හෙයින්. එම චෝදනාවට දිය යුත්තේ මරණ දඬුවම පමණක් වන  හෙයින් මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය. මේ අවස්ථාවේදී විත්ති කුඩුවේ සිට අධිකරණය ඇමතූ  එමිල් රංජන් ළමාහේවා මහතා දහස් ගානක් සෙනග ඉන්න බන්ධනාගාරයේ කළු තුෂාර නමැත්තා රැගෙන මා යනවා දැක ඇත්තේ කුඩා බණ්ඩාර නමැති බන්ධනාගාර නිලධාරියා පමණයි. ඔහු මා සමග තරහයි. මා මේ සිද්ධියට කිසිසේත් සම්බන්ධ වී නැහැ.

කුමන්ත්‍රණකාරී ලෙස මා මෙයට පැටලූවා. කුඩා බණ්ඩාර නමැති බන්ධනාගාර නිලධාරියා හැර වෙනත් අයෙකු මා කළු තුෂාර නමැත්තා රැගෙන යන බව කිව්වොත් මට මරණ දඬුවම් 10ක් දුන්නත් කමක් නැහැ.  හිරකරුවන් 28 දෙනකු ඝාතනය වූ සිද්ධිය දී නඩු දාලා තියෙන්නේ හිරකරුවන් 08 දෙනකුගේ ඝාතනයන් සම්බන්ධයෙන් පමණයි. මේ සිදුවීම අතරතුර හිරකරුවන්, හිරකරුවම වෙඩි තියාගත් බවටත් තොරතුරු තිබුණා. කොහොම වුණත් මා මේ අපරාධයට සම්බන්ධ නැහැ.  මෙයට මා සම්පූර්ණයෙන්ම නිර්දෝෂියි.  ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  සවස 6.30 පමණ අධිකරණ ශාලාවේ සියලු දෙනා නැගී සිටි අවස්ථාවේ දී අධිකරණ ශාලාවේ දැක්වෙමින් තිබූ සියලු විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා අක්‍රිය කොට විත්තිකරුට මරණීය දඬුවම නියම කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු බෙලෙන් එල්ලා තැබීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා සහ නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. නියෝමාල් රංගජීව නමැති විත්තිකරු වෙනුවෙන්  නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක්  පෙනී සිටියහ.

(මනෝප්‍රිය ගුණසේකර)