ragama-incident

රාගම මහබාගේ මාර්ගයේ සුපිරි වෙ​ළෙඳසැලකට ඇතුළු වී ළමුන් සඳහා වූ විලවුන් කුප්පි නවයක් සොරාගෙන පලාගිය පුද්ගලයෙකු තමා පිටුපස හඹා ආ ත්‍රිරෝද රථ රියැදුරකුට ද පිහියකින් ඇන බලා සිටියවුන් ඉදිරියේ ගෙල කපා ගනිමින් සියදිවි හානිකරගෙන ඇතැයි රාගම පොලිසිය පවසයි.



මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතලේ උකුවෙල නාගොල්ල පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

රාගම මහබාගේ මාර්ගයේ පිහිටි සුපිරි වෙළෙඳසලට ඊයේ (09 වැනිදා) උදෑසන මෙම පුද්ගලයා ඇතුළු වී ඇති අතර එහි තිබූ රුපියල් දෙදහස් පන්සියයක් වටිනා සුවඳ විලවුන් කුප්පි නවයක් මොහු විසින් සොරාගෙන සුපිරි වෙළෙඳසලෙන් පිටත පිහිටි රථගාලට පැමිණ ත්‍රිරෝද රථයකට නැගීමට උත්සාහ දරා ඇත.

එහිදී සාක්කුවේ තිබූ සුවඳ විලවුන් කුප්පි කිහිපයක් බිමට වැටීමෙන් පසු ත්‍රිරෝද රථයේ රියැදුරු සොරෙකු කියමින් කෑ ගසා ඇති බවත් ඒ අවස්ථාවේ සන්තකයේ තිබූ පිහියක් අතට ගෙන ත්‍රිරෝද රථයේ රියැදුරුට ඇන පැන යාමට උත්සාහ දරා ඇති බවත් අසළ සිටි පිරිස් සොරා කොටුකර ගැනීමට යන අවස්ථාවේදී සුපිරි වෙළඳසලට මීටර් විස්සක් පමණ ඈතදී අතෙහි තිබූ පිහියෙන් ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන ඇති බවත් පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.



මේ සම්බන්ධයෙන් රාගම වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා ගේ මෙහෙය වීමෙන් කරන ලද පරීක්ෂණයේදී මියගිය මෙම පුද්ගලයා පෙරේදා (08 වැනිදා) මීගමුව ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධව ද පොලිසිය සොයමින් සිටි සැකකරුවකු බවය.

(එෆ්.අස්ලම් , ප්‍රසංග පාවුළුහේවා - කටුනායක)