power-cut-again

අද (24) දහවල් ජනපති සමග සාකච්ඡාවකින් පසු විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ ස්ථිර කර මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අද සිට විදුලි කප්පාදුවක් කිසිසේත් සිදු නොවන බවත් ඩොලර් නිකුත් කිරීම සඳහා තෙල් නැවක තෙල් ලබාදීමට එකඟවී පවතින විදුලි අර්බුදය නිමවූ බවත්ය.


නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්ධි කිරීම් සිදුවීම වැළැක්විය නොහැකි බවයි.


ඔවුන්ගේ ප්‍රකාශය සනාථ කරමින් ඇමතිගේ ප්‍රකාශ අසත්‍ය කරමින් ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වීම් වාර්තා වී ඇති බව අද (24) රාත්‍රියේත් වාර්තා විය. ඒවා හදිසි බිඳවැටීම් නොවන බවත් කප්පාදුකිරීම් බවත් පැයක් වැනි කාලයක් නවතා යලි විදුලිය ලැබීම තුළින් පැහැදිලි වූ බව මාලබේ, පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව දන්වන ලදි.
 විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමට හේතුවන බව ඉංජිනේරුවන් දන්වා තිබුණි.

මේ වනවිට විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් දැනුම් දීමට කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් නොමැතිවීම හේතුවෙන් ජනතාවට  විදුලි බලය සම්බන්ධයෙන් අනියත සැකයක් මතු කර තිබේ.
රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේද විදුලිය විසන්ධිවිමට ඉඩ ඇති නිසා දහවල් කාර්යාල පවත්වායාමේ ගැටලු පැනනැගිය හැකි මුත් කිසිවෙකු නිල ප්‍රකාශ නිකුත් නොකරන පසුබිමක එම කටයුතුද සැලසුම් කරගැනීමට නොහැකි අවුල් තත්වයට පත්කර ඇත.



විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට විදුලි කප්පාදු කිරීම පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසා ඇත.මින් ඉහත විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සිටියද දැන් එවන්නෙකු සිටිනවාද සද්ද නැත.
රටේ සියලු කටයුතු සඳහා බලපාන විදුලි බලය දුර්වල පරිපාලනය නිසා අවිනිශ්චිත සේවාවක් බවට පත්ව ඇති සෙයක් විද්‍යාමානවේ.
ඇමතිවරයා පවසා ඇති ප්‍රකාශ අවස්ථා ගණනාවකදී අසත්‍යවී ඇති අතර ඔහු හැසිරෙන්නේ ප්‍රශ්නයක් නැති ගාණටය.