maharagama-incident

හිස් ඉඩමක කුණු පිච්වුවැයි යකඩ පොල්ලකින් ගසා නීතිඥයෙකුගේ කකුලක් කැඩු බවට අත්අඩංගුවට ගත් සැකකරු මෙම මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (12) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ මහරගම වරාකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මහරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.  සැකකරුගේ නිවසත් පැමිණිලිකරුගේ නිවසත් අතර මැද වූ හිස් ඉඩමක පැමිණිලිකාර නීතිඥවරයා පසුගිය 11 වැනිදා පස්වරුවේ කසළ පුලුස්සා ඇති අතර එම අවස්ථාවේ එහි පැමිණි සැකකරු නීතිඥවරයා සමග වාද කර පසුව යකඩ පොල්ලකින් පහර දී ඇති බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා  දුන්හ. මෙම පහර කෑමෙන් නීතිඥවරයාගේ එක් පාදයක් ස්ථාන කීපයකින් බිඳීමට ලක්ව ඇති බවද ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ශල්‍යකර්මයකට ලක් කිරීමට  නියමිතව ඇති බවද නීතිඥවරු කරුණු  දක්වමින් පැවසූහ.


පාරක් සම්බන්ධයෙන් මේ දෙපාර්ශ්වය අතර කලක සිට ආරවුලක් පැවැති බවද පැමිණිලිකරු සැකකරුගේ නිවස අසලටම පැමිණ කසළ පුලුස්සද්දී එසේ කරන්න එපා යැයි පවසා ඇති බවද සැකකරු වෙනුවෙන්  පෙනී සිටි නීතිඥවරයා පැවසීය. එහෙත් එය ගණන් නොගත් පැමිණිලිකරු අසභ්‍ය වචනවලින් බැණ වදිමින් සැකකරුගේ නිවස අසලටම පැමිණ ගැටුමක් ඇති කරගෙන ඇති බවද ඔහු තවදුරටත් කරුණු දක්වමින් පැවසීය.  එවැනි පෙර ගැටුම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතැයි පැමිණිල්ලේ නීතිඥවරු පෙන්වා දුන්හ.

එසේම තුවාලකරු තවමත් රෝහල්ගතව සිටින නිසාත්, ඔහුගෙන් තවමත් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැති නිසාත් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති නිසාත් සැකකරු මුදාහැරීමෙන් විමර්ශනවලට බලපෑම් ඇති විය හැකි නිසාත් සැකකරුට ඇප ලබා නොදෙන්නැයි පැමිණිල්ලේ නීතිඥයෝ කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් විදුර පී. මංචනායක, ප්‍රදීප් ද සිල්වා ඇතුළු මහත්වරුන් නීතිඥ පිරිසක් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය.


 -මුදිතා දයානන්ද-