jeewandara-speaks

මේ වනවිට ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් පැතිරීම නිශ්චිත ලෙසම වේගවත්වී ඇති බව අද දින තහවුරු විය. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 182ක නියැදියකින් 160 ක්ම එනම් සියයට 88 ක්ම ඔමික්‍රොන් බවට හඳුනාගෙන තිබේ.
ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව

අද එලි කළේය.
ඔමික්‍රෝන් කොරෝනා වයිරසය  ආසාදනයවූ ආසාදිතයින් පිරිස හමුවී ඇත්තේ  කොවිඩ්  ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල  182 ක්  පරික්ෂා කිරීමේදී බවද ඔවුන් විසිරී ඇති ප්‍රදේශ දිවයිනේ ස්ථාන ගණනාවක් බවද හෙළි කළේය.
ආසන්න ඉන්දියාවේද ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීම වේගවත්වී ඇති අතර ඊට සමගාමීව ලංකාවේ ප්‍රබල ලෙස පැතිරීම ඇරඹී ඇත.


ඔමික්‍රොන් රෝග ලක්ෂණ බොහෝ දුරට කොරෝනා අනෙක් රෝග ලක්ෂණ වලට සමාන  වන නමුත් එහි මරණීය අවදානම අනෙක්වාට සාපේක්ෂව අවමය. එනමුත් වයස 70 ට වඩා වැඩි වැඩිහිටියන් හා දීර්ඝ කාලීන ජානගත රෝග වලින් පීඩා විඳින රැසක් ඔමික්‍රොන් නිසා ජීවිතක්ෂයට පත්වූ සිදුවීම් ලොවේ දස දෙසින් වාර්තා විය.
කොරෝනා එන්නත ලබාගත් අයට පවා මෙම රෝගය වැළඳී ඇති නමුත් එන්නත නිසා ජීවිත අවදානම අඩු බව පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ.
ඔමික්‍රොන්හි විශේෂ ලක්ෂණය වන්නේ සෙම්ප්‍රතිෂ්‍යාවක් මෙන් පහසුවෙන් වේගයෙන් පැතිරීමයි. මේ හේතුවෙන් ඉදිරි දිනවල ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා රෝගීන් ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.