doctor-bomb-story

බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියට පිළියන්දල වට මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ බිරිය මීට ටික කාලයකට පෙර කොරෝනා ආසාදනයෙන් මියගිය බවත් එදා සිට වෛද්‍යවරයා උන්මත්තකයෙකු ලෙස ක්‍රියාකරන බවත් රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සැලසුම් සහගතව තැන් තැන්වල බෝම්බ තැබීමට කටයුතු කර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
මුලින්ම පසුගිය 2021 සැප්තැම්බර් මාසයේදී නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි අත්බෝම්බයක් ඇටවීමට වෛද්‍යවරයා පිරිස් යොදවා ඇත්තේ බිරිය මියගියේ එහිදී නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීමට බවත් මීට ටික දිනකට පෙර සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ බෝම්බය අටවන්නට ක්‍රියා කළේ බිරියත් ඔහුත් 1974 වසරේදී විවාහ ගිවිස ගැනීම සිදුකළ පල්ලිය එය නිසා බවත් පාපොච්චාරණය කර ඇතැයි පොලිසිය කියයි.



 විශ‍්‍රාමික වෛද්‍යවරයාට මෙම ස්ථාන දෙකටම බෝම්බ තැබීමට බෝම්බ ලබාදුන් පුද්ගලයා ඊයේ (20 දා) හම්බන්තොට රන්න ප‍්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නට හැකිවූ බවද පොලිසිය දන්වයි.
ප‍්‍රකාශවලින් හෙළිවී ඇත්තේ ඔහු ලංකා හොස්පිට්ල් ගැන ප්‍රසාදයකින් හා සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය සමග ද්වේෂයකින් පසුව ඇති බවයි.
 සියලූ සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක වූ බිරිය සමග විවාහ වූ ඔවුනට තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදුන් බවත් එය ජීවිත කාලයටම මතක හිටින වේදනාවක්වූ බවත් වෛද්‍යවරයා පවසා තිබේ.
නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබඳව ද පොලිසිය ප‍්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ තම බිරිය 2021 මියගියේ කොරෝනාවෙන් බවත් රෝග තත්වය උත්සන්න වූ අවස්ථාවේ නවලෝක රෝහලට ඇතුළත් කරන්නට උත්සාහ කළත් නොහැකිවී යාමෙන් පසු නාරාහේන්පිට ලංකා හොස්පිටල් තෝරාගත් බවයි. එම රෝහල බිරියට හොඳින් ප්‍රතිකාර කළ බවත් නමුත් රෝග තත්වය උත්සන්නව ඇය මියගිය බවත් වෛද්‍යවරයා පවසා ඇති අතර බොම්බය තැබුවේ ද්වේශයෙන් නොව බෝම්බ ආරංචිය නිසා රෝහලට ප්‍රචාරයක් ලබාදීමේ අරමුණින් බවත් පවසා ඇත.
බොම්බ තැබීමේ කටයුතු වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවද සැකකාර විශ‍්‍රාමික වෛද්‍යවරයා පිළිගෙන තිබේ.



වෛද්‍යවරයාගේ අතෙහි ඇඟිල්ලක තිබෙන මංගල මුද්දද විශේෂයක් ඇති බවත්  සිය බිරිඳට වූ අසීමිත ආදරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවද ඔහු විසින් පොලිසිය හමුවේ පවසා තිබුණි.

 75 හැවිරිදි විශ‍්‍රාමික වෛද්‍යවරයාගේ පුත්‍රයා වන එජාප දේශපාලනඥ ඕෂල හේරත් පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ මෙම චෝදනා සියල්ල අසත්‍ය බවත් තමන්ගේ නිවසට කිසි දිනෙක මුරකරුවෙකු නොසිටි බවත් ආයුධ කියා රැගෙන ගියේ වෛද්‍යවරයාගේ මුණුපුරුගේ සෙල්ලම් බඩු බවත්ය. එසේම ඔහු කියා සිටියේ තම පියාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටම පියා උමතු හැසිරීම් ඇති අයෙකු බවට ඔවුන් සැකකළ බවයි.
ඔහු මෙසේ කියා තිබුණි.

‘මට තාත්තා එක්ක ඒ මොහොතේ වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. තාත්තව ගෙදර වෙනම තැනකට ගෙනිච්චා. මං කතා කරන්න ඕනේ කිව්වාම පොඩ්ඩක් ඉන්න දැන්ම කතා කරන්න බැහැ, ගෙනියද්දි කතා කරන්න දෙන්නම් කියලා.


ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔයාගේ තාත්තාගේ මොළේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එයා අම්මා නැති වෙච්ච දවසේ ඉඳන්  සමාජයත් එක්ක වෛරයෙන් ඉන්නවා කියලා. අම්මා නැති වුණාට පස්සේ මගේ තාත්තගේ එකම දේ වුණේ ගෙදර දේවල් බලන් ඉන්න එක. මගේ මුනුපුරා හින්දා තමා එයා ගෙදර පොඩ්ඩක් හරි හිනා වෙලා හිටියේ.
එයාලා බලපෑම් කළා මගේ සහෝදරීවයි බිරියවයි පොඩි පුතාවයි ඔක්කොම ගෙනියනවා කියලා.‘
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන පොලිසිය තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව දන්වා තිබේ.