ඉන්දීය බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම හේතුවෙන් හිටපු සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර්ට අයි.සී.සී. තහනමක් පැන වෙන ලකුණු පහළ වී තිබේ.  ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගේ දූෂිත ප්‍රවේශයක් (Corrupt Approach) ජාත්‍යන්ත  ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී.යට) වාර්තා කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙලෙස ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට වසර ගණනාවක තහනමක් (Impose as  Multi-Year Ban) පැනවීමට අයි.සී.සී.ය සුදානම් වන  බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබිණි.  සිම්බාබ්වේ හිටපු නායකයා 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම ඉන්දීය ව්‍යාපාරීකයා හමු  වී ඇත්තේ, සිම්බාබ්දවේහි විස්සයි20 තරගාවලියක්  පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට සහ අනුග්‍රාහකත්වයක් ලබාගැනීමටයි.

ටේලර් ඉන්දියාවේදී එම රැස්වීම වාර්තා කිරීම ප්‍රමාද කළේ ඔහුට තම පවුල ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ නිසා බව ඔහු පවසා ඇත.

එම හමුව අතරතුර සිදු වූ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ට්විටර් වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් ඔහු විස්තර කරන අතර, එය තමාව බ්ලැක්මේල් කළ බවට චෝදනා කිරීමට හේතු වූ බවද හෙතෙම පවසයි. ටේලර් පැවසුවේ, ඔහුට මුණගැසුණු මිනිසුන්, පසුදා ඔහුගේ හෝටල් කාමරයට කඩා වැදුණු බවත්, ඔහු ඔවුන් වෙනුවෙන් ස්ථානීය පාවාදීම් (SpotFixing) සිදු නොකළහොත් මන්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ වීඩියෝවක් නිකුත් කරන බවට තර්ජනය  කළ බවත්ය.  ටේලර්ට ඔවුන් ඇමෙරිකානු ඩොලර් 15,000ක් ලබාදී ඇති අතර, මෙය තැන්පතුවක් බවත්, කාර්යය අවසන් වූ පසු අමතරව ඇමෙරිකානු ඩොලර් 20,000ක් ගෙවන බවත් ඔවුන් ටේලර්ට පොරොන්දු වී තිබේ.

"මෙම වරද සහ අන්තර් ක්‍රියාකාරිත්වය. අයි.සී.සී.ය වෙත වාර්තා කිරීමට මට මාස 4ක් ගත වුණා. මෙය දිගු කලක් ගත වූවක් බව මම පිළිගන්නවා. නමුත් මට සෑම කෙනෙකුම සහ විශේෂයෙන් මගේ පවුල ආරක්ෂා කළ හැකි යැයි මම සිතුවා.

මම මන්ම කොන්දේසි මත අයි. සී.සී.ය පැමිණියා. මම මගේ දුෂ්කරතාව පැහැදිලි කළහොත්, අපගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ මගේ සැබෑ බිය පැහැදිලි කළහොත් ඔවුන් මගේ ප්‍රමාදය තේරුම් ගනීවි යැයි මා සිතුවා” යනුවෙන් ටේලර් පැවසීය.  ටේලර් තවදුරටත් පවසා සිටියේ, ඔහු කිසිම  ආකාරයක තරග පාවාදීමකට සම්බන්ධ වී නොමැති බවත්, තමන්ට බොහෝ දේ විය හැකි නමුත් තමන් වංචාකාරයෙකු නොවන බවත්ය. කෙසේ වෙතත් ටේලර්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ අයි.සී.සී.ය තවමත් කිසිදු අදහසක් දක්වා නොමැත. වසර 17ක ක්‍රිකට් දිවියකට පසු ටේලර් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත්තේය.

මෙම සිද්ධිය වනවිට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන්ට මාස හයක් වැටුප් ගෙවා නොමැති බවත්, සිම්බාබ්වේ  කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ දිගටම ක්‍රීඩා කිරීමට හැකිවේද යන ප්‍රශ්නකාරී බවත් ටේලර් වැඩිදුරටත් පවසා තිබිණි.  මීට අමතරව හිටපු සිම්බාබ්වේ නායකයා අද (25දා) දින සිට යථා තත්වයට පත් වීමට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යන බවද තහවුරු කර සිටියේය. ටේලර් 2011 වසරේ සිට 2021 වසර දක්වා තරග 71කදී සිම්බාබ්වේ පිලේ නායකත්වය දැරිය.

ඔහු 2011 මැද භාගයේ සිට 2014 මැද භාගය දක්වා කාලය තුළ පූර්ණකාලීන නායකයා වූ අතර, ඊට පෙර ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පමණක් භාරව සිටියේය. ඉන්පසුව, 2015 වසරේ පැවති ලෝක කුසලානය අවසානයේ, ඔහු ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම  ගෙන වයස අවුරුදු 29දී කොපැක් ගිවිසුමක් මත එක්සත් රාජධානියට ගිය අතර, යළිත් 2017 වසර අග භාගයේදී. ඔහු සිය කොපැක් ගනුදෙනුව අවසන් කර නැවත සිම්බාව්වේ ක්‍රිකට් කණ්ඩායමට පැමිණියේය. මීට පෙර තවත් හිටපු සිම්බාබ්වේ නායකයෙකු වන හීත් ස්ට්‍රීක් 2021 වසරේ අප්‍රේල් මාසයේදී අයි.සී.සී. දූෂණ විරෝධි සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් අයි.සී.සී. තහනකමට ලක් විය.


-පැතුම් ශ්‍රී විජේරත්න--