beruwala-incident

බේරුවල, ප‍්‍රදේශයේ නිවසකට රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා යතුරු පැදියකින් පැමිණි 28 හැවිරිදි අවිවාහකයකුට පහරදී එම යතුරුපැදියද ගිනි තබා විනාශ කිරීම් සිද්ධියට සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි.

තරුණයාට පහරදී යතුරුපැදිය ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් බේරුවල, නල්ලහේන ප්‍රදේශයේ ධීවර වෘත්තියේ නියැළෙන්නන් බවද පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලෙන් කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය කියයි. තරුණයාට පහර දීමට හේතුව වී ඇත්තේ මේ වන විට ධීවර රැකියාවට මුහුදු ගොස් සිටින ධීවරයෙකුගේ භාර්යාවක පහර කෑමට ලක් වූ තරුණයා සමග සම්බන්ධතාවයක් පවත්වායමින් එදින රාත්‍රියේ ද එම කාන්තාව එම තරුණයා නිවසට ගෙන්වාගැනීම බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.



එම තරුණයාට පහර දී ඇත්තේ කාන්තාවගේ සොයුරන් පිරිසක් බවත් ඇයගේ සැමියා ධීවර රැකියාවට මුහුදු ගොස් සිටියදී එම තරුණයා රාත්‍රියේ නිවසට ගෙන්වාගෙන ඇති බවත් ඔහු පැමිණි යතුරුපැදියට ද ගිනිතබා ඇති බවත් පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි. පහර කෑමට ලක් වූ තරුණයා බහුකාර්ය සහායක තනතුරේ සේවය කරන්නකු බවත් අවිවාහකයකු වන ඔහු දියලගොඩ ප්‍රදේශයේ අයෙකු බවත් පොලිසිය කියයි.

යතුරුපැදිය ගිනි තැබීමට සම්බන්ධ එම කාන්තාවගේ සොයුරන් වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක ධම්මික ද සිල්වා, උපපොලිස් පරික්ෂක ශාවින්ද යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.


(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)