Court-changes-vaccination-of-children-under-18---Parental-consent-required

වයස අවුරුදු 18ට වඩා අඩු ළමයින්ට කෝවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ දෙමවුපියන්ගේ හා භාරකරුවන්ගේ කැමැත්ත මත පමණක් බවත්, එසේ නොකර සියලු ළමුන්ට කෝවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥ කනග ඊෂ්වරන් මහතා ඊයේ (10දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 



කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිර්මට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් නීතිඥවරියක ඇතුළු තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ කනග ඊෂ්වරන් මහතා ඒ බව දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය. වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න සහ නිර්මාල් හරීන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.සියලු පුද්ගලයන් එන්නත්කරණයට ලක් විය යුතු බවට නීතියක් පනවා නොමැති බවත්,

පුද්ගලයන් බලහත්කාරයෙන් එන්නත්කරණයට ලක් කිර්ම නීතියට පටහැණි බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ව්‍යවස්ථාදායකයේ අනුමැතියක් නොමැතිව එවැනි නීතියක් පැනවීමට වගඋත්තරකරුවන්ට බලයක් නොමැති බවද පෙන්වා දෙති.මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනග ඊශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයා පසුගිය දෙසැම්බර් මස 15වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන්නේ ප්‍රධානියා වශයෙන් තමා ක්‍රියාකරන බවත්, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිල ප්‍රකාශය නිකුත් කරන්නේ තමා පමණක් බව දැනුම් දුන්නත් ළමුන් එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්ද ප්‍රකාශ නිකුත් කර ඇතැයි පැවසීය.එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමක් බවත්,

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසූ නීතිඥවරයා කෙසේ වෙතත් වයස අවුරුදු 18ට අඩු ළමුන් එන්නත්කරණයට ලක් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ දෙමවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත ලබාගෙන එන්නත්කරණය කිරීම සුදුසු යැයි සඳහන් කළේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා එළඹෙන 31වැනිදා කැඳවීමට නියම කළේය.


(බුද්ධිමාල් රුබේරු)