The-city-of-Tianjin-in-China-is-closed-due-to-omicrone-14-million-covid-investigation

චිතයේ ටියැංජින් වෙරළාශ්‍රිත නගරයෙන් 'කොවිඩ් 19" ආසාදිතයන් පොකුරක් වාර්තා වීමත් සමඟ නගරය සම්පුර්ණයෙන් වසා දැමුණු අතර, නගරයේ වෙසෙන   මිලියන 14 ක ජනතාව 'කොවිඩ් 19'  පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.  නගර බලධාරීන් පවසා ඇත්තේ

පැය 48 ක් ඇතුළත නගරයේ සියලු දෙනා ‘කොවිඩ් 19' පරික්ෂණ සදහා යොමු කර, ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනා  ගැනීමට කටයුතු කරන බවය.  නගරය ලොක්ඩවුන් කිරීම සිදුවී ඇත්තේ හමුදාවේ සහාය ඇතිවය.  නගරයේ සියලු දෙනාට නිවෙස්වල රැඳී සිටින්නැයි උපදෙස් ලැබී ඇති අතර,  නිවසින් බැහැර වීමට අවසර ලැබෙන්නේ කොරෝනා පරික්ෂණයට යොමු වී, ආසාදිතයකු නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුවය.

ඊයේ (10) දිනයේ ටියැංජින් නගරය පුරා ස්ථාන රැසක කොවිඩ් 19 පරික්ෂණ පැවැත්වීමේ කඳවුරු ස්ථාපිත කර තිබුණු අතර, ඒවායේ දිගු පෝලිම් දකින්න ලැබුණි.  ටියැංජින් නගරයෙන් හමුවී ඇත්තේ 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය ආසාදතය වූවන් පොකුරකි. එම පොකුරට, "ඔමික්‍රෝන්' ආසාදිතයන් 20 දෙනකු සිටින බව පැවැසෙයි. මේ වනවිට චීනයේ ද 'ඩෙල්ටා විකෘතිය අභිබවා ආසාදිතයන් වැඩි කිරීමට සමත් වී ඇත්තේ "ඔමික්‍රෝන් විකෘතියයි. 

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ ද චීනයෙනි. ඒ, 2019 දෙසැම්බරයේය. 2020 අවසන් වෙද්දී, චීනය වයිරස ව්‍යාප්තිය පාලනය කරගෙන තිබුණි.  ඉන්පසු විටින් විට ආසාදිතයන් වාර්තා වුවත්, මිලියන ගණනක් වෙසෙන නගර මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, එම නගරවල සියලු දෙනා ආසාදිතයන් ද නැද්ද යන්න තහවුරු කර ගැනීම චීනයේ වයිරස පාලන ක්‍රමවේදය බවට පත් විය. ‘ඩෙල්ට' විකෘතියේ ව්‍යාප්තියත් සමග පසුගිය 2021 වසර අවසානයේ පටන් චීනයෙන් යළි පොකුරු වශයෙන් 'කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමට පටන් ගැණුනි.