upul-rohana-covid19

මේ වන විට කෝවිඩ් තෙවන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 50%ක පමණ පිරිසක් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. නිවැරදි ආසාදිතයන් සංඛ්‍යාව



වෙනුවට ආසාදිතයන් අවම බව පෙන්වන සංඛ්‍යා දත්ත සෞඛ්‍ය බලධාරින් විසින් ජනගත කිරීම හේතුවෙන් කෝවිඩ් අවදානමක් නොමැති බවට ජනතාව විසින් උපකල්පනය කර බූස්ටර් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බවද හෙතෙම පවසා සිටියේය.හෙතෙම මේ බව පවසා සිටියේ, දීර්ඝ සතිඅන්තයේ ජනතාවගේ හැසිරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,"දීර්ඝ සතිඅන්තයේ ජනතාවගේ ක්‍රියාකාරකම් අපි හොඳින් අධ්‍යයනය කළා. බහුතරයක් ජනතාව කෝවිඩ් මාර්ගෝපදේශයන්ට. අනුව කටයුතු කළේ නැහැ. ඒ වගේමයි පැවැති ක්‍රිකට් තරගාවලි නරඹන්නන් මුහුණු ආවරණ නොමැතිව,

අතිවිශාල පිරිසක් කිසිදු සමාජ දුරස්ථභාවයකින් තොරව කටයුතු කළේ කිසිම දිනක මෙරට කෝවිඩ් නොතිබූ ගානටයි. මේ වනවිට අපට වාර්තා වෙනවා දෛනිකව කෝවිඩ් පරික්ෂාවන් පන්දහසකටත් අඩුවෙන් කරගෙන යන බව. ඒ අනුව දෛනිකව වාර්තා වන රෝගීන් පන්සියයක හෝ හයසියයක සීමාවේ පවත්වාගෙන යනවා. අපි පුනපුනා කියන්නෙ එම තොරතුරු සාවද්‍යයි. ආසාදිත ප්‍රමාණය මේ වාර්තා වන ප්‍රමාණයට බොහොම වැඩි විය යුතුයි. එසේ අවම සාවද්‍ය දත්ත නිසාත් ජනතාව මේ වන විට කෝවිඩ් තුරන්ව ඇතැයි සිතා සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීමට හේතු වී තිබෙනවා. ඒ අනුව කෝවිඩ් මරණ සංඛ්‍යාත්මකව යම් හෙයකින් වැඩි වුවහොත් ඊට සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතුයි” යැයි පවසා සිටියේය


(කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර)