හංසයෝ දෙදෙනෙක් හා ඉබ්බෙක් යහලුව සිටියහ. ටික කලක් යන විට ඉබ්බා සිටි විලේ වතුර හිඳිණ. තද ඉඩෝරය නිසා ඈත විලකට යාමට හංසයෝ දෙදෙනා කථා කර ගත්හ. තම යහලුවාත් කෙසේ හෝ එහි ගෙන යාමට හංසයින්ට උවමනා විය. ඉබ්බා ළඟට පැමිණි හංසයෝ දෙදෙනා දිය ඇති විලකට යාමට ඔබ කැමතිදැයි ඉබ්බාගෙන් විමසූහ.
මම කැමති වුවත් යන්නේ කොහොමදැයි ඉබ්බා ඇසීය. එක් හංසයෙක් ගොස් සවි ඇති කෝටු කැබැල්ලක් ගෙන ආවේය. හංසයෝ දෙදෙනා ඉබ්බාට උපදෙස් දෙමින් මිත්‍රය, ඔබ මේ කෝටුව කටින් තදින් අල්ලා ගන්න, අප විලට පහන්වන තුරු කිසි ලෙසකින්වත් කට අරින්න එපා යයි කීවෝය.
ඉබ්බා කෝටුව කටින් අල්ලාගත් පසු හංසයෝ දෙකෙළවරින් කෝටුව හොටින් අල්ලාගෙන පියාඹන්නට වූහ හංසයෝ පියාඹන්නේ පිට්ටනියක් උඩිනි. එහි කුඩා ළමයි පිරිසක් ක්‍රීඩා කරමින් සිටියහ. අහසින් යන ඉබ්බා දැකීම ළමුනට අරුම පුදුම දෙයක් විය. “මෙන්න ඉබ්බෙක් අහසින් යනවෝ”'යි කියමින් ළමයි කෑගසන්නට වූහ. ඉබ්බාට හංසයින්ගේ උපදෙස් අමතක විය. ඉබ්බා ළමුන්ට හොඳවායින් දෙකක් කීමට සිතා කට ඇරියේය. අහෝ! ඉබ්බා බිමට වැටී මළේය. හංසයෝ දෙදෙනා මිත්‍රයාට වූ විපත දැක පියඹා ගියෝය...
මේ උපමාව කට නිසා අමාරුවට පත්වන අය සම්බන්ධයෙනි.

