ලබන වසරේදී (2022) ශ්‍රී ලංකාව දරුණු විදුලි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි අතර දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය අනතුරු අඟවයි. දිනෙන් දින ඉහළ යන මෙරට විදුලි ඉල්ලුමට සරිලන අන්දමට සැපයුම ලබාදීමට බලාගාර ඉදිනොවීම සහ රටේ පවතින ඉන්ධන හිඟය ඊට හේතූව බවද එම සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය වසර ගණනාවක සිටම සිදුකරන අනතුරු ඇඟවීම් ලංවිම පාලනාධිකාරිය මායිම් නොකරන බවද එම නිසා ඉතා නුදුරේදීම විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයිද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
දැවෙන ගැටලුවට විසඳුම් නොදී ඉතා මිල අධික කෙටි කාලීන විදුලි මිලදී ගැනීම් වැනි තාවකාලික පැලැස්තර එළීමෙන් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවද කුමාරවඩු මහතා කීය. අනුමත විදුලිබලාගාර ඉදි නොවීම හා ප්‍රමාද කිරිමත් ඇතැම් බලාගාර ඉදිකිරීම අවසන් මොහොතේ අවලංගු කර දැමීමත් නිසා මෙම විදුලි අර්බුදය හටගෙන තිබෙන බවද හෙතෙම පැවසීය.
විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන හිගයකින් තොරව සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමය නැවත හඳුන්වා දීමෙන් ඉන්ධන ඉතිරිකර ගත හැකි බව තම සංගමයේ ස්ථාවරය වන බවද සභාපතිවරයා කීය.
-රංජන් කස්තුරි-
Comments
Post a Comment
Your comment will be visible after approval