චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේ සිට මහින්ද රජාපක්ෂ යුගයද පසුකර ගෝඨාභය රාජපක්ෂ පාලනයද ආවේය. ඒ අතරතුර මැති ඇමැතිවරු, නිලධාරින් ඇතුළු බොහෝ දෙනෙක් වෙනස් වූහ. එහෙත් නොවෙනස් වූ එකම දේ රටේ ආර්ථිකය හසුරුවන පී. බී. ජයසුන්දර බව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවකි. කෙසේ නමුදු අන් කවරදාකටත් වඩා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මෙන්ම තවත් මැති ඇමැතිවරු විරෝධය පළ කරමින් සිටින මොහොතක ඔහුගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේ ඇමැති චමල් රාජපක්ෂය. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරිපිටදීමය.

එම දෝෂාරෝපණයෙන් පසු වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේදී ඇමැති බන්දුල ගුණවර්ධනද ජනපති ලේකම්ගේ නම නොකියා ඔහු විවේචනය කළේය.

ඔහු කියා සිටියේ මෙවැනි නිලධාරින් තම බලතල භාවිත කරමින් ආණ්ඩුවේ යහපත් වැඩ කඩාකප්පල් කරන බවයි.

ඇමැති බන්දුල ගුණවර්ධන සිය කතාව කරගෙන යන විට අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයේ සිට මෙම කතාවට සවන් දුන්නේය. එම අවස්ථාවේදී අගමැතිවරයා නිලධාරියකුට කියා සිටියේ කතාව අවසන් වූ පසු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැඳවන ලෙසයි. ඒ අනුව කතාව අවසන්ව සභා ගැබෙන් පිටතට පැමිණි ඇමැතිවරයා අගමැතිවරයා හමු වූයේය. ‘‘බන්දුල ඇමැතිතුමා නියම කතාවක්නේ අද කළේ.’’ කියමින් අගමැතිවරයා ඇමැතිවරයාට ප්‍රශංසා කළේ ය. ‘‘අගමැතිතුමනි, රටේ තියෙන ප්‍රශ්නවලට වගකිව යුතු නිලධාරින් පිරිසක්ද ඉන්නවා. ඒ අය සෑම ආණ්ඩුවකටම සම්බන්ධ වෙලා ආණ්ඩු නොමග යවනවා. පී. බී. ජයසුන්දර ගැනත් අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි’’ ඇමැතිවරයා කීවේය.


කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂගේ විවේචනයෙන් පසු ජනාධිපති ලේකම්වරයා තනතුරෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා විය. ඒ වෙනුවට හිටපු අගමැති ලේකම්වරයකු වන එන්. අමරසේකර හෝ වත්මන් අගමැති ලේකම් ගාමිණී සෙනරත් පත් කිරීමට යෝජනා වී තිබිණි. ඒ අතර තවත් යෝජනාවක් ඉදිරිපත් විය.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ජනාධිපති ලේකම් ධුරයට පත් කිරීමටය. මෙම සියලු යෝජනා හමුවේ පී. බී. ජයසුන්දර ලේකම් ධුරයේ තබා ගැනීම සඳහා ප්‍රචාරක ව්‍යාපෘතියක් සහ ඉවත් කිරීම සඳහා වූ ප්‍රචාරක ව්‍යාපෘතියක් ආණ්ඩුවේම මැති ඇමැතිවරු විසින්ම ආරම්භ කර තිබේ.


සිය පාර්ලිමේන්තු කතාවෙන් පසු අගමැතිවරයා හමු වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද ප්‍රකාශ කර ඇත්තේ පී. බී. ජයසුන්දර ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සඳහා මැති ඇමැතිවරු සමග ජනාධිපතිවරයා හමු වී කතා කළ යුතු බවයි. එහෙත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරු දෙදෙනෙක් පී. බී. ජයසුන්දර තවදුරටත් තබා ගැනීම සඳහා ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඊට එරෙහිව ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනකු මුල් වී ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වෙයි.
 - උදයජීව ඒකනායක