ඔන්න එක නගරයක අහිකුණ්ඨික කණ්ඩායමක් උන්නා. මේ අය තැනින් තැනට ගිහින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අහිකුන්ඪක කණ්ඩායමේ සමහර අය ගිරව්, සැළලිහිණි ආදී සතුන් ඇති කළා. ඒ සතුන්ට කතා කරන්නට ද හොඳින් පුහුණු කළා.
ඉන්පසු එම කුරුල්ලන්ව විකුණලා මුදල් ලබා ගත්තා. නමුත් එක ගිරවෙක් හිටියා, කොච්චර කතා කරන්න පුහුණු කළත් මේ ගිරවාට නම් එක වචනෙකට වඩා කතා කරවන්න බැරිවුණා. ඌ කියපු එකම වචනෙ 'හරියට හරි, හරියට හරිකියන එක විතරයි. ගිරවා අයිති අහිකුණ්ඨිකයා හිතුවා ඌව තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා.
අන්තිමට ඌට කතා කරන්න පුළුවන් කියලා බොරු කියා හරි ඌව විකුණන්න හිතපු මේ ගිරවා අයිති අහිකුණ්ඨික මිනිසා, ගිරවාත් අරන්ගෙන පොළට ගියා. "කතා කරන ගිරවෙක්. කතා කරන ගිරවෙක් විකුණනවා. ගන්නේ කවුද? විකුණනවා" කියමින් ඔහු ගිරවාව විකුණනන්න කෑ ගැහුවා.
ඒ අසලින් ගිය එක් මිනිසෙක් ගිරවාව දැක එතැන නැවතුනා. ඔහු ගිරවුන්ට කැමැති මිනිසෙක්. ඔහු මෙසේ ඇසුවා. "ඇත්තටම මේ ගිරවා කතා කරනවාද?" "මොකද මහත්තයා නැත්තෙ? මගේ කීම විශ්වාස නැත්නම් මහත්තයම ගිරවගෙන් අහලා බලන්නකො." අහිකුණ්ඨික මිනිසාත් කීවා. ඒ මිනිසා ගිරවා ළඟට ගොස්, "ආ.... ගිරවෝ, උඹට කතා කරන්න පුළුවන්ද?" කියලා ඇහුවා. එවිට ගිරවා මෙසේ කීවා. "හරියට හරි, හරියට හරි" මිනිසා හිතුවා ගිරවාට හොඳට කතා කරන්න පුළුවන් කියලා. " ඒ මිනිසාට ගිරවාව ගන්න ඕන කියලා හිතුනා. ඔහු ගිරවාගෙ මිල කීයද කියා ඇසුවා. මේ මිනිසා ගිරවා ගැනීමට කැමැත්තෙන්ම අසන නිසා අහිකුණ්ඨික මිනිසා විකුණන්න හිතපු ගාණට වැඩි ගාණක් කීවා.
ඒ උනත් ඒ මිනිසා ඒ මුදල දී ගිරවාව අරගෙන ගියා.ගිරවාව රැගෙන ගිය මිනිසා ගිරවා සමඟ කොපමණ දේවල් කතා කළත් ගිරවා කීව්වේ ඌ දන්න එකම වචනෙ තමයි. ගිරවා කියූ ඒ එක වචනෙට තමනුත් රැවටුනු බව දැනගත් මිනිසාට හොඳටම තරහා ගියා. යමෙකු දෙයක් කියූ පළියටම ඒ ගැන සොයා නොබලා කටයුතු කරන අය හෝ එසේ කටයුතු කර අමාරුවේ වැටුණු අවස්ථාවලදී මෙම "ගිරවාගේ සාක්කිය වගේ" කියන පිරුළ අද ද කියනු ලබනවා. "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන පිරුළ ද ඉහත පිරුළට සමානම අදහසක් ලබා දේ.
Comments
Post a Comment
Your comment will be visible after approval