කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පෙරේදා (18) පැවැසූහ. මේ ක්‍රියාවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්ම ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ. මහනායක හිමිවරුන් ඇතුළු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත නාහිමියෝ, බොහෝ දෙනකු උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝන්ජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් සෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ද කියා ' සිටියහ.
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් මේ බව පැවැසුවේ, ඇඹිලිපිටියේදී පෙරේදා (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. රජයක් නියෝජනය කරන්නේ එහිදී අපහාසයට, උපහාසයට යොමු වුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිතමිත්‍රකම් මුල් කරගෙන තනතුරු දෙන විට, බොහෝ දෙනකු නිහඬව සිටියත්, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ පැවැසූහ. හිතවතුන්ට තනතුරු දීම හේතුවෙන් රටම මහත් ව්‍යසනයට ගොදුරු වී තිබෙන බව කී සෝභිත නාහිමියෝ, තමන් මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථක බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතු බව ද කීහ.
ජයන්ත නානායක්කාර-
Comments
Post a Comment
Your comment will be visible after approval