දේශීය දියර කිරි වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා දේශීය කිරි නිෂ්පාදන සමාගම් භාවිත කරන ඇසුරුම් ඩොලර් ප්‍රශ්නය නිසා කොළඹ වරායේ විශාල වශයෙන් ගිරවීමෙන් දියර කිරි වෙළෙඳ පොළට හඳුන්වා දීමට ද ගැටලුකාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ.  දියර කිරි ඇසිරීම සඳහා භාවිත කෙරෙන ඇසුරුම් බොහෝ දුරට මෙරට නිෂ්පාදනය නොකෙරෙන අතර ඒවා ඉන්දියාව සහ සිංගප්පූරුව යනා දී රටවලින් ආනයනය කෙරෙන බව දේශිය කිරි නිෂ්පාදන සමාගම් පවසයි.  මේ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවැසුවේ කොළඹ වරායේ මෙලෙස

හිරවී තිබූ  ඇසුරුම් ලක්ෂ තුනක් පසුගිය සතියේ දී නිදහස්  කරගත් බවයි.


ඇමෙරිකානු ඩොලර් තිස් හයදහස් තුන් සියයක් පමණ වටිනා එම ඇසුරුම් වෙනුවෙන් මණ්ඩලයට රුපියල් ලක්ෂ 13ක අමතර ගුදම් ගාස්තු ගෙවීමට  සිදු වූ බව ද ඔහු සඳහන් කළේය.  කිරිපිටි ආනයනය සීමා කර ඇති අවස්ථාවක මෙවැනි බාධා මතුවීම නිසා දේශීය දියර කිරි  කර්මාන්තය පවත්වාගෙන යෑම ද ගැටලුකාරී වනු ඇතැයි පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.

  දියර කිරි ඇසිරීම සඳහා ආනයනය කෙරෙන ඇසුරුම් සඳහා රජය සියයට 5 ක අමතර බද්දක් අයකිරීම දේශීය දියර කිරි කර්මාන්තය පවත්වාගෙන යෑමට ලොකු බාධාවක් හෙයින් එම බද වහාම ඉවත් කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි මහාචාර්ය සුමිත් මාගමගේ මහතා පැවැසීය.  මේ අතර පවතින තත්වය යටතේ දියර කිරි පැකට් වල මිලද ඉදිරියේ දී වැඩිකිරීමට සිදුවනු ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.


 -සුජිත් හේවාජුලිගේ-