father-abused-daughter

සිය බාල වයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වූ අධිචෝදනා තුනකට වරදකරු වූ පියෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා වසර 60ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (16)දා නියම කළේය.


චූදිත පුද්ගලයාගේ බිරිඳ මෙම සිදුවීම සිදුවීමට වසර කිහිපයකට පෙර පවුල් ආරවුලක් හේතුවෙන් චූදිත පුද්ගලයාගෙන් වෙන්ව අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙනත් පුරුෂයෙකු සමග ජීවත් වී ඇති බවත්, චූදිත  පුද්ගලයා හා දරුවන් දෙදෙනා පමණක් ඔහු සමග නිවසේ ජීවත්ව ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබිණි. චූදිත පුද්ගලයා විසින් මීට වසර 06කට පමණ පෙර සිය බාලවයස්කාර දැරි අවස්ථා ගණනාවකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත්, ඇය පියාගේ හිරිහැරය ඉවසාගත නොහැකිව සිද්ධිය පිළිබඳ ඇය ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවට පවසා ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.


මෙම පසුව මෙම සිද්ධිය පිළිබඳ වින්දිත දැරියගේ වැඩිමල් සහෝදරයාට හා මිත්තණියට දැනුම් දීමෙන් අනතුරුව කතරගම පොලීසියට පැමිණිලි කර තිබේ.ඒ අනුව කතරගම පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන්ම අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිය අධිචෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.ඒ අනුව පැවැති නඩු විභාගයේදී විත්තිකරුට එරෙහිව නගා තිබූ අධිචෝදනා තුනම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා විසින් මෙලෙස සිරදඬුවම් නියම කරන ලදී. 

  එක් අධිචෝදනාවකට වසර 20 බැගින් අධිචෝදනා තුනට වසර 60ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එය වසර 20ක කාලයක් තුළ සමගාමීව ගෙවී යා යුතු බවටද නියම කළේය.



මීට අමතරව එක් අධිචෝදනාවකට රුපියල් 25,000 බැගින් අධිචෝදනා තුනට රුපියල් 75,000ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර, එකී දඩ මුදල නොගෙවන්නේ නම්, ඉහත දඩුවම් කාලයට අමතරව තවත් මාස 18ක සිරදඬුවමක්ද නියම කෙරිණි.එමෙන්ම අගතියට පත් වූ චුදිත පුද්ගලයාගේ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද නියම කළේය.මෙලෙස සිරදඬුවම් නියම වූයේ කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි. පානදුර ලෝකුරුගේ විරාජ් හේමන්ත (අවු.42) නමැති දෙදරු පියෙකුටය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර, කතරගම පොලීසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් දේශප්‍රිය මහතා පෙනී සිටියේය.


(සූරියවැව - නුවන් ජයසේකර)