face-book-robber-love

මුහුණු පොතෙන් දැන හඳුනාගත් මිතුරෙකුට අයත් රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා මෝටර් රථයට සොරාගෙන එම රථය කුලී ගමන් සඳහා යොදාගත් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

මෝටර් රථය සඳහා  යොදාගත් ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ලිපි ලේඛන, එම  ලේඛන සකස් කර ගැනීමට  උපයෝගී කරගත් රබර් මුද්‍රා, පරිගණක ස්කෑන් යන්ත්‍ර ද  පොලිසිය භාරයට ගෙන ඇත.  සති තුනකට පමණ  ඉහතදී මෙම හිටපු හමුදා  සෙබළා මෝටර් රථයේ හිමිකරු මුහුණ පොතෙන් දැන හඳුනාගෙන මිත්‍රත්වයක් ගොඩනගා  ගෙන තිබූ බව පොලිසිය කියයි.


මෝටර රථය හිමිකරුගේ පුතුට ඩුබායි රටේ රැකියාවක් ලබා දීමට හැකි බව පවසා සැකකාර හිටපු  සෙබලා ඔහු අයත් සමග මෝටර් රථයෙන් ඉකුත් පළවෙනි දින පේරාදෙණිය සිට කොළඹ බලා පැමිණ  ඇතැයි පොලිසිය කියයි.   එම අවස්ථාවේදී මෝටර් රථයේ රියැදුරු වශයෙන්  කටයුතු කර ඇත්තේ සැකකරු බවත් බම්බලපිටියට පැමිණීමෙන් පසු පෞද්ගලික දුරකථන සන්නිවේදනය මධ්‍යස්ථානයක් අසල මෝටර් රථය නතර කර විනාඩි කිහිපයකින් පැමිණෙන බවට පවසා සැකකාර සෙබලා මෝටර්  රථයත් රැගෙන පලාගොස් තිබූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.

මුහුණු පොතෙන් දැන අඳුනාගත් මිතුරා පැමිණෙන තෙක් බලාසිටි මෝටර් රථයේ හිමිකරු වරින් වර ඔහුට දුරකථන ඇමතුම් දුන්නද දුරකථනය විසන්ධි කර තිබීම නිසා ඒ බව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න  කිරිමේදී මරදාන ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සවිකර එම අංක තහඩුවට සරිලන ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලිපි ලේඛනද  සකස්කර ගත් බවත් කැලණිය, බියගම ප්‍රදේශයේදී එම ව්‍යාජ ලිය  කියවිලි සකස් කරගත් බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකරු සන්තකයේ  තිබී සොයා ගත් එම මුද්‍රා අතර මොටර් ප්‍රවාහන   කොමසාරිස්වරයාගේ රබර් මුද්‍රාව, ප්‍රාදේශීය  ලේකම්වරයාගේ රබර් මුද්‍රාව   ඇතුළු රබර් මුද්‍රා ගණනාවක්  ද තිබූ බව පොලිසිය කියයි.  සැකකරු ගුවන් හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ පුද්ගලයෙක් බව  පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 - බිමල් ශ්‍යාමන් ජයසිංහ-