මුහුණු ආවරණය වන හෙල්මට් ජැකට් හැදගෙන මරදාන පාර බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පෙරේදා (11) කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු අහසට වෙඩි තබා එහි තිබූ ලක්ෂ 30 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ලකා යතුරු පැදියකින් පලාගොස් ඇති බව බොරැල්ල පොලිසිය කියයි. මොවුන් පෙරේදා දහවල් 2.30 ට පමණ රන් බඩු වෙළෙඳ සැලට කඩා වැදී ඇති අතර හිමිකරු සේවකයන් තිදෙනා සහ රන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක හා තවත් අයෙක් ඒ අවස්ථාවේ එහි සිට ඇති බව පොලිසිය පවසයි.
රන් බඩු වෙළෙඳසැලේ බිත්තියේ සවිකර තිබූ ස්වර්ණාභරණ අසුරන ලද වීදුරු අල්මාරියට කොල්ලකරුවන් විසින් වෙඩි තබා වීදුරු බිඳ පසු එහි තිබු ස්වර්ණාභරණ පෙට්ටි 6 ක් මෙසේ කොල්ලකා ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. හඳුනා ගැනීමට අපහසුවන ආකාරයට කොල්ලකරුවන් දෙදෙනා හෙල්මට් සහ ජැකට් පැළඳ සිටි බව පොලිසිය කියයි. කොල්ලකරුවන් දෙදෙනා යතුරු පැදියකින් රන් බඩු වෙළෙඳසැලට පැමිණෙන ආකාරය අවට සිසීටීවී කැමරා පරික්ෂා කර බැලීමේ දී දක්නට ලැබුණු බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙම කොල්ලකරුවන් සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු තොරතුරක් හෙළිවී නැති බව ද පොලිසිය පවසයි. බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ෂන අංශයට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා කොල්ලකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූර්ය
Comments
Post a Comment
Your comment will be visible after approval