blood-pressure-facts

අධික රුධිර පීඩනය කිසිවෙකු විසින් පරීක්ෂා කරන තෙක්, තමන්ට ඒ නොදන්නා සැඟවුණු ප්‍රශ්නයකි. අධික රුධිර පීඩනය  ඇති බවත්, එය බොහෝ කාලයක් තිස්සේ පවතින්නට ඇති බවටත්, බොහෝ දෙනෙකු දැනගන්නේ, හෘදයාබාධයක්, ආඝාතයක්, හෝ හදවත් අක්‍රියවීමක්, වැනි සංකූලතාවකින් පෙළුනහොත් පමණි.  මිලී ගේ වාසනාවට ඇය අනතුරකට ගොදුරු වීමට පෙර, වෛද්‍යවරයා එය සොයා ගත්තේ ය. මිලී ගේ අධික රුධිර පීඩනය හොඳින් පාලනය කිරිමට යතුර වූයේ, අධික රුධිර පීඩනය කුමක් ද යන්න සහ එය මර්දනය කිරිමට කළයුතු නොකළයුතු සහ අනාගතයේ සෞඛ්‍යයට හානි වැළැක්වීම පිළිබඳ, ඇගේ අවබෝධයයි. මෙම පරිච්ඡේදයයේ දී අපි, අධික රුධිර පීඩනය යනු කුමක්දැයි” කියා අවබෝධ කර ගැනීමට විස්තරාත්මකව ඒ ගැන සොයා බලමු.

අධික රුධිර පීඩනය කොතරම් සුලභ ද?

අද, අධික රුධිර පීඩනය, බිලියන දෙකක පමණ ලෝක ජනකායකට බලපවත්වයි. ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් 1/3%කට පමණ එය බලපාන බව පැවැසේ. පසුගිය අවුරුදු 100ක පමණ කාලය තුළ, එහි ව්‍යාප්තිය තුන් (3) ගුණයකින් වැඩිවී


ඇත. ලෝකය පුරා වෛද්‍ය ප්‍රජාව තුළ බරපතල භීතියක් ඇති කරමින්, දැන් අධික රුධිර පීඩනය, තරුණයන් හා යෞවනයන් තුළ ද වැඩිවෙමින් පවතින බව නීරීක්ෂණය කොට ඇත.

සනීපය හා අධික රුධිර පීඩනය
අධික රුධිර පීඩනය ඇති කරන්නේ කුමක් ද?

අධික රුධිර පීඩනය හෘදවාහිනි අවදානම් සාධකයකි. අවදානම් සාධක, ඔබ තුළ රෝග ඇති වීමේ ඉඩ ප්‍රස්ථා වැඩිකරයි. අවදානම් සාධක කළමනාකරණය සහ පාලනය කළ හැකි දේවල් ය. එහෙත් සමහර අවදානම් සාධක පාලනය කළ නොහැක. එමනිසා ඔබ අවදානම් සාධක නිසා, අධික අවදානමක සිටී නම්, ඵලදායි ලෙස පාලනය කළහැකි ඒවා හඳුනාගැනීම වැදගත්වන්නේ, ඔබ ගේ අවදානම අඩුකිරීමට හෝ සහමුලින් ම නැතිකිරීමට ය. අවදානම් සාධකයක වැදගත් ලක්ෂණය වන්නේ ඒවා ඔබතුළ ඇතිබව නිතර ඔබට නොදැනීම හෝ නොහැඟීමයි. බොහෝවිට කෙනෙකු ඔහුට හෝ ඇයට අවදානම් සාධක ඇතිබව දැනගන්නේ හෘදයාබාධයක් ඇති වූ විට වන අතර, පළමුවන වතාවට, එය  සිද්ධවීම වැළැක්වීමට කිසිවක් කිරීමට පමාවූවා වැඩි ද වෙයි. එම නිසාය, වෛද්‍යවරු හා සෞඛ්‍යය සේවා අධිකාරින් කියන්නේ, ඔබගේ අවදානම් සාධක, ඔබට පහරදීමට පෙර, ඒ සොයා ගතයුතුය කියා. මෙය 'රෝගය සොයා බැලීම': Case finding) වශයෙන් හැඳින්වෙයි.


අවදානම් සාධක, හෘදයාබාධයන් ඇතිකරනවා ම පමණක් නොව, වෙනත් බොහෝ සෞඛ්‍යය ආශ්‍රිත ප්‍රශ්න ද ඇති කරයි. පහත සඳහන් සියල්ල ද, එකී අවදානම් සාධකවලට ම ඇති කළ හැක.

ඇන්ජයිනාව -(Angina)
ආඝාතය -(Stroke)
වකුගඩු අක්‍රියවීම -(Kidney failure)
හදවත අක්‍රියවීම. -(Heart failure)

දුබලතාව සහ එකී හේතු ඕනෑම එකක් නිසා මරණය  

සියලුම අවදානම් සාධකවලින් ඉතාමත් සුලභ එක, අධික රුධිර පීඩනයයි. ලෝකය පුරා මිලියන ගණනක් සමහර විට බිලියන ගණනක් වූ ජනකායකට, මෙම අනතුරුදායක වූ අධික රුධිර පීඩනය ඇත. සමහර අය එය මනාව දනිත්. එහෙත් තවත් සමහර අය එය නොදනිත්. ඇත්ත වශයෙන් ම, අධික රුධිර පීඩනයෙන් පසුවන වැඩි දෙනෙකු, එය තමන්ට ඇති බවද නොදනිත්. බටහිර ලෝකයේ මැදිවිය වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් හෝ දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට, අධික රුධිර පීඩනය ඇතැයි විස්වාස කරත් තමන්ට, අධික රුධිර පීඩනය ඇති බව දන්නා අය, එය පාලනය කිරීමට ඖෂධ ගැනීම හෝ ජීවන ශෛලිය හෙවත් පැවැත්ම වෙනස් කිරීම කරත්.

එහෙත් අවාසනාවන්ත ලෙස, අධික රුධිර පීඩනය ඇති අයගෙන්, 50%ක් පමණි, ප්‍රතිකාර ගැනීමෙන් පවා, රුධිර පීඩනය අවශ්‍ය මට්ටමට පාලනය කරගැනීමට සමත් වන්නේයැයි, පර්යේෂකයෝ අපට කියා දෙත්. රුධිර පීඩනය අධික අවස්ථාවෙහි දී, ඔබ ගේ සිරුර වටා ලේ ගෙනයන ධමනිවලට හානි සිදුවෙයි. අධික රුධිර පීඩනය   ඔබ ගේ හෘදය, වකුගඩු සහ මොළයට, හානි කරයි. අධික රුධිර පීඩනය සහ සාමාන්‍ය රුධිර පීඩනය ගැන මනා දැනුමක් අත්‍යවශ්‍ය වන්නේ, එයින් විය හැකි හානිය වළක්වා ගැනීමට ය. පෙර සඳහන් කළ පරිදි, හෘදය වෙහෙස කරවමින් සහ සිරුරේ අවයවවලට හානි කරකරවමින්, අධික රුධිර පීඩනය, ඔබට තිබුනත් ඔබට කිසිවක් ම නොදැනෙන්නට ද පුළුවන එසේනම් ඔබ, ඔබට අධිකරුධිර පීඩනය ඇත්දැයි දැනගන්නේ කෙසේ ද?

ඔබ වයසට යත්ම, අනුක්‍රමයෙන් ඔබගේ රුධිර පීඩනය ද ඉහළ යයි. මෙය ජීවන සත්තාවකි. එයට නිශ්චිත හේතුවක්  තවමත් නිවැරදිව සොයාගෙන නැති වුවත්, ඒ සම්බන්ධයෙන් විද්‍යාව විසින් සපයන ලද විස්වාසවන්ත සවිස්තරයන් කීපයක් ඇත. ඔබ වයසට යත්ම, ඔබ ගේ ධමනිවල ඇදෙන සුලුබව සහ සුනම්‍ය ස්වභාවය ද නැති වන්නේ ය. එවා දෘඪ වන අතර, එයම අදාළ රුධිර පීඩනය ඉහළ යෑමට එක් හේතුවක් වෙයි.



එසේ හෙයින් ඔබ වයස අවුරුදු 40ට වැඩි නම්, පළමුව ගතයුතු පියවර වන්නේ , ඔබ ගේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා මගින්, ඔබ ගේ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීමයි. එය අධිකනම්, ඔබ ඒ ගැන සැලකිලිමත් වියයුතු ය. එක් වරක් රුධිර පීඩනය පරික්ෂා කිරීමෙන් ඔබට නිතර අධික රුධිර පීඩනය ඇතැයි නිගමනය කළ නොහැකි ය. කායික හෝ මානසික ආතතියක දී රුධිර පීඩනය ස්වභාවිකව සහ අස්ථිර ලෙස ඉහළ යයි. ඔබ කායික අභ්‍යාස කරදී රුධිර පීඩනය ඉහළ යෑම සාමාන්‍ය දෙයකි. එහෙත් ඔබ සම්පුර්ණයෙන් විද්වේකයෙන් සිටිනවිටත්, අවස්ථා කිහිපයක දී මනින කළ, රුධිර පීඩනය තවමත් අධික නම්, එය ඔබට අධික රුධිර පීඩනය ඇතැයි තහවුරු කරන්නකි.


පාලනය නොකළ අධික රුධිර පීඩනය, නිශ්ශබ්බද මිනීමරුවකු බව දැන ගැනීම ඉතා වැදගත් ය. සෑම වර්ෂයක් පාසා ම ලෝකය පුරා එය බිලියන 10ක පමණ මරණවලට වගකිව යුතු ය.


සම්මත රුධිර පීඩනය කුමක් ද?

රුධිර පීඩනය එකට ගමන් කරන, දෙයාකාර පාඨාන්තර ඇත. එකක්, හෘදය ලේ පොම්ප කරන අවස්ථාවෙහි, ධමනි තුළ රුධිර පීඩනය සටහන් කිරීමයි. මෙයට 'සිස් ටොලික්' (Systolic) රුධිර පීඩනයැයි කියයි. රුධිර පීඩනය මැනීමෙහි මෙය පළමුවැනි පාඨාන්තරයයි. දෙවැනි පාඨාන්තරය, හෘදය විවේකීව සිටිය දී ධමනි තුළ ඇතිවන පීඩනයයි. මෙය රුධිර පීඩන මිනු කියවීමේ 'ඩයොස්ටොලික්' (Diastolic) කොටසින් කියවෙයි. ඔබගේ රුධිර පීඩනය මැනීමෙහි වෛද්‍යවරයා/වරිය, ඔබට පාඨාන්තර දෙකත් දීම, මෙමගින් ඔබට තේරුම් යනු ඇත. සම්මත රුධිර පීඩනය විස්තර වන්නේ, 120/80 වශයෙනි. රුධිර පීඩනය මැනීමට යොදා ගන්නා ඒකකය, 'mmHg” නොහොත්, වෙනත් වචනවලින් කිවහොත් 'රසදිය මිලි මීටර්”ඒකක යයි. එය එක්තරා උසකින්, දියර රසදිය මගින් පීඩනය ජනිත කරවයි.

පරික්ෂණ අවස්ථා තුනක දී ම රුධිර පීඩනය, 140/90 ට වඩා වැඩිවූයේ නම්, එවිට ප්‍රතිකාර අවශ්‍ය වන අතර, එය අධික රුධිර පීඩනය ලෙස සැලකේ.

මෑතක දී මගේ රුධිර පීඩනය මනිනු ලැබූ අතර, එය සම්මත ප්‍රමාණයේ ම විය. මට අවදානමක් නැතැයි විශ්වාස කිරීම නිවැරදි ද?

ඔබ වයසට යත් ම රුධිර පීඩනය ඉහළ යයි. එමනිසා අවාසනාවන්ත ලෙස එක් අවස්ථාවක් සම්මත පාඨාන්තරය සදාකාලයට ම එසේ නොපැවතිය හැක. දැනට ඔබට සම්මත රුධිර පීඩනයක් ඇත්නම්, අවම වශයෙන් වසරකට පමණක්වත් එය පරික්ෂාකරවා ගැනීම අතිශය වැදගත් ය.

මගේ රුධිර පීඩනය අධික ඇයි? අධික රුධිර පීඩනයට හේතු සමහරක් මොනවා ද?


ඔබ වයසට යත් ම, රුධිර පීඩනය ක්‍රමානුකූලව ඉහළට යන බව හඳුනාගෙන ඇත. එහෙත් එයටත් වැඩිය ඉහළ යෑම් සිදුකරන වෙනත් සාධක ඇත. සිරුරේ අධික මේද හෝ තරබාරුකම ද, අධික රුධිර පීඩනයක් ඇති කළ හැක. තරබාරු මිනිසුන්ගේ සිරුරේ බර සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු කළවිට, රුධිර පීඩනය පහත යන බව පැහැදිලිව පෙනී ගොස් ඇත.  අද අපේ සමාජයේ මානසික ආතතිය, අධික රුධිර පීඩනයට ප්‍රධාන දායකයා වශයෙන් ද හඳුනාගෙන ඇත.

වේගවත් ජීවන ශෛලිය, වැඩ ආශ්‍රිත ආතතිය, මූල්‍යමය, හා වෙනත් ප්‍රශ්න මේ සියල්ලටමත් අධික රුධිර පීඩනය දායක වන්නකි. ආතතිය ඉවත් කිරිම හා විවේකය, අධික රුධිර පීඩනය පහත හෙළීමට ඇති ක්‍රම දෙකකි. එහෙත් මුළු කාලයේ ම ආතතියෙන්  වෙලී සිටීමෙහි ප්‍රවණතාවක් ඇති මිනිස්සු ද වෙති.


තමන් ආතතිය  සහිත හා අභියෝගාත්මක පරිසරයෙන් නොයෙකුත් හේතු නිසා  ඉවත්වීම, ප්‍රයෝගික නොවන වෙනත් අය ද සිටිති. එවැනි මිනිස්සු නිරන්තරයෙන් ම රුධිර පීඩනය අධික නම්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාව ගැන සලකා බැලිය යුතු ය. භාවනාව, පිරිත් කීම, තායිචි, (Thai chi) සහ යෝග, හා විවේකය සඳහා වන්නා  වූ ශිල්ප ක්‍රම, ද ආතතිය විසින් ඇති කරන්නා වූ අධික රුධිර පීඩනය පාලනය කිරිමට යෝග්‍ය බව ප්‍රකට කරුණකි.  මත්වතුර, රුධිර පීඩනයට තවත් ඉතා සුලභ හේතුවකි. පරිභෝජනය කරන මද්‍යසාරය ප්‍රමාණය ඉහළ යන්ටයන්ට, රුධිර පීඩනය ද අධික වෙයි. එවන් මිනිසුන්ට ඔවුන් ගේ අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ක්‍රියාමාර්ග යක් වන්නේ මත්වතුර පරිභෝජනය අඩුකිරිම හෝ සම්පූර්ණයෙන් නතර කිරීම ය.




මුළු මහත් ප්‍රජාව තුළ අධික රුධිර පීඩනයට ඉතාමත් සුලභ හේතුවක් වන්නේ ලවණ පරිභෝජනයයි. ඔබ වයසට යත් ම, ඔබ  ආහාරය සමග ඔබ ගන්නා සාමාන්‍ය ලුණු ප්‍රමාණය ද රුධිර පීඩනය ඉහළ දැමීමට හේතු විය හැක. ඔබ වයසට යත් ම, මෙයට  පෙර ප්‍රකාශ කළ පරිදි, ලුණුවල ඇති රුධිර පීඩනය ඉහළ යවන රසායනිකයන්ට ඔබ වඩාත් සංවේදී වෙයි. එමනිසා ඔබ දිනපතා පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය අඩු කරන්නේ නම්, වයසට යෑම නිසා රුධිර පීඩනය ඉහළට යෑම ද වැළැක්විය හැක. පිටතින්  ගෙන එන චීන කෑම වැනි වෙනත් ක්ෂණික ආහාරවල, එහි රසය, ප්‍රණීත බව හා එම ආහාර සඳහා වන්නා වූ ඉල්ලුම ද වැඩිකර ගැනීමට, ඒවාහි ලුණු ප්‍රමාණය අධික බව ඔබ දැන සිටිය යුතු ය. එමනිසා මෙම ලුණු අධික ආහාරවලින් වැළකීමෙන්, ස්ථිර වශයෙන් ම ඔබ ගේ රුධිර පීඩනය පාලනය කළ හැක. සෝසස් (රසකාරකයක්), සහ චට්නිවල ද, ලුණු අධික ප්‍රමාණයක් ඇති

හෙයින් ඒවා ද ඔබ වයසට යත්ම අරපරිස්සමෙන් පරිභෝජනය කළ යුතුය.

අධික රුධිර පීඩනයට තවත් ඉතා සුලභ හේතුවක් නම්, කායික ක්‍රියාකාරකම් නොමැතිවීම නොහොත් ඔත්පල හෙවත් උදාසීන ජීවන ශෛලියයි. නොකඩවා ව්‍යායාම කිරීමෙන් රුධිර පීඩනය පහත් මට්ටමක තැබිය හැක.  සමහර රෝග නිසා ද රුධිර පීඩනයට ඉහළ යෑ හැකි ය. සමහර හෝමෝන ප්‍රශ්න ද රුධිර පීඩනය අනතුරුදායක ලෙස,  අධික මට්ටමකට වැඩි කළ හැකි බව ප්‍රකට ය. බොහෝ විට  පාලනය කිරිමට දුෂ්කර වකුගඩු රෝග ද, අධික රුධිර පීඩනයක් ඇති කළ හැක. එවන් රෝගී තත්වයන් වෛද්‍යවරුන් විසින්  ඵලදායි ප්‍රතිකාර කිරීම රුධිර පීඩනය පාලනය කිරීම පිණිස ද අවශ්‍ය වෙයි.


අධික රුධිර පීඩනයත් හුදු සීනි විශේෂයෙන් අප කෑමට ගන්නා මේ සීනිවල පැණිසීනි පරිභෝජනයන් අතර සම්බන්ධතාවක් පිළිබඳ සාක්‍ෂි වැඩි වැඩියෙන් ඇත. එය බහුල වශයෙන් පැණීසීනි අධික ඉරිගු සිරප්වල ද ඇත. පැණීසීනි මට්ටම්, සිසිල් බීම, බුබුළු දමන බීම, කේක් වර්ග, සහ වෙනත් පැණිරස බේකරි නිෂ්පාදනවල ඉතා අධික ය. සාමාන්‍ය රුධිර පීඩනයක් ඇති අය තුළ, දිනකට පැණි සීනි ග්‍රෑම් 10ට වඩා ආහාරයට එකතු කිරීමෙන් අධික රුධිර පීඩනයක් ඇති කළ හැකි බව අධ්‍යයනයයෙන් පෙන්වා දී ඇත.

 තාත්වික අධි-පීඩනය යනු කුමක් ද?


තාත්වික අධි පීඩනය යනු, ප්‍රතිකාර කළ හැකි හෝ හඳුනාගත හැකි හේතුවක් නොමැතිව ඇතිවන අධික රුධිර පීඩනයයි. ලෝකයේ දකින්නට ලැබෙන ඉතාමත් සුලභ අධි රුධිර පීඩනය මෙයයි. මෙය වයස සමග සම්බන්ධ සංසිද්ධියක් ලෙස

විස්වාස කෙරේ. (වෙනත් වචනවලින් කිවහොත් වයසට යෑමත් සමග ඇතිවන දෙයකි) එය ලුණු වැඩියෙන් ගැනීම, තරබාරු බව, සහ කායික අක්‍රියාකාරිත්වය, වැනි ජීවිත ශෛලී සාධක මගින් වැඩි කරන්නකි.


පෙති නොමැතිව රුධිර පීඩනය පාලනය කිරීම පෙති නොමැතිව මගේ රුධිර පීඩනය පාලනය කිරීමට මට කුමක් කළ හැකි ද?

ඉහතින් සඳහන් කළ වෙනස් කළ හැකි අධික රුධිර පීඩන අවදානම් සාධක පාලනය කළහොත්, රුධිර පීඩනය ද පහත වැටෙයි. ඔබ තරබාරු නම්, බර අඩු කිරීමෙන් ස්ථිර ලෙස ම ඔබ ගේ රුධිර පීඩනය පහත වැටේ. ඔබ ඔත්පලව සිටීනම්, අඛණ්ඩ කායික ව්‍යායාම, රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරි වෙයි. මත්වතුර සම්පූර්ණයෙන් නතර කිරීම නැතිනම්, පරිභෝජනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම, ද රුධිර පීඩනය ඵලදායි  ලෙස පාලනය කිරිමට ඔබට උපකාරි වෙයි..

භාවනාව, කණ්ඩායම් ගායනය, පිරික්සීම, තායි චී, සහ යෝගත්, අඛණ්ඩව කරන්නේ නම්, රුධිර පීඩනය අඩු මට්ටමකට තබා ගැනීමට එය උපකාරි විය හැකි ය.

අධික ලුණු මට්ටම් ඇති, සුලභ ආහාර සමහරක් මොනවා ද?


ලුණු තැවරූ ඇට වර්ග, බැඳපු අර්තපල් පෙති, රැගෙන යෑ හැකි විකිණීමට ඇති චීන ආහාර (Chinese take away), සොයා රසකාරක, (සෝස් වර්ග) උපස්කරය (Ketchup), වැනි සුලභව පරිභෝජනය කරන ආහාර, සලාමි, බේකන්, හැම්, සොසේජෙස්, සහ ප්‍රොස්කියුටෝ, (Prostitutio) ආදී සකස් කළ මස් වර්ගවල, අධික ලුණු ප්‍රමාණක් අඩංගු ය. ඉහතින් සඳහන් කළ ආහාර වර්ග වලින් වැළකී සිටීම හෝ සීමා කිරීම නම්, ප්‍රඥාගෝචර ම ය.

අධික රුධිර පීඩනය පාලනය කිරිමේ දී අඩුවෙන් ලුණු කෑම කොතරම් දුරට ප්‍රතිඵල දායක ද?

වයස්ගතවීම නිසා රුධිර පීඩනය ඉහළ යෑම වළක්වා ගැනීමට, දිනකට ගන්නා ලුණු ප්‍රමාණය ග්‍රෑම් 3.5 අඩුවෙන් රඳවා ඔබට හැකියාවක් තිබිය යුතු ය. එහෙත් ඔබට සෑහෙන බරපතල  ලෙස අධික රුධිර පීඩනය ඇත්නම්, ලුණු අඩුවෙන් කෑමෙන් පමණක් ම, ඔබට එය සම්පූර්ණයෙන් පහත හෙළීමට නොහැකි වෙයි. එහි පළමු පියවර වන්නේ ලුණු පරිභෝජනය හැකිතාක් අඩු කිරීමයි.


අධික රුධිර පීඩනයට හෘදරෝග හා ආඝාත ඇතිකළ හැක්කේ කෙසේ ද?

අධික රුධිර පීඩනය ඔබ ගේ හෘදයට බරපතල ප්‍රතිරෝධකයක්ව විරුද්ධව ක්‍රියාකිරීමට සිදුවීම නිසා එය නිරන්තරයෙන් සහ අනවශ්‍ය වෙහෙසක් ඇති කරයි. මෙය හෘදය ප්‍රසාරණය වීමට සලස්වන අතර කැමෙහි දී හෘදය වෙහෙසට ද පත් කරමින් එය අක්‍රියකාරි වීමකට ද සලස්වන්නකි.

අධික රුධිර පීඩනය, කිරීටක ධමනිය ඇතුළු ධමනිවල අභ්‍යන්තර ලයිනීනයට ද, (Inner lining of the arteries including the coronsry arteries) හානි සිදු කරයි. එවිට මේවා  කොලෙස්ටෝල් තැන්පතුවලට වඩාත් ග්‍රහණය වියහැකි අතර, එම කොලෙස්ට්‍රෝල් ඵලක පුපුරා යෑමට ද සැලැස්විය හැක. අධික රුධිර පීඩනය විසින් හෘදයාබාධ ඇති කරන්නේ ඒ ආකාරට ය.  අධික රුධිර පීඩනයට මොළයට ලේ සපයන ශීරපෝෂික ධමනිතුළ කොලෙස්ටෝල් ඵලක වර්ධනයවීමට සැලැස්විය හැකි අතර, මෙය ආඝාතයන්ට මග පාදන්නකි. අධික රුධිර පීඩනයට, මොළයේ රුධිර ධමනීන් පිපිරවීමට හා ඒ තුළින් මොළයට ලේ ගැලීමට ද සැලැස්විය හැක.

අධික රුධිර පීඩනය අප සමාජයේ හෘද අවදානමට ඇති ඉතාමත් සුලභ සාධකයයි. ආහාරය වෙනස් කිරීම තුළින්, ඵලදායි  ලෙස රුධිර පීඩනය පාලනය කළ හැක.

අධික රුධිර පීඩනය පාලනය කළ හැකි වෙනත් මාර්ග නම්, බර අඩු කිරිම, කායික ක්‍රියාකාරකම් වැඩි කිරීම, සහ අවශ්‍ය නම්, රුධිර පීඩනය අඩු කරන ඖෂධ ගැනීම ය. ඉතාමත් වැදගත් ම දෙයනම්, ආහාර වෙනස් කිරීම එනම්, ලුණු (සෝඩියම්) ගැනීම සීමා කිරීමයි. හෘදයාබාධයන්ට අමතරව, පාලනය නොකළ අධික රුධිර පීඩනයට, ආඝාතය, වකුගඩු හානියට, සහ අක්‍රියවීම සිදුකළ හැක . ඔබ ගේ රුධිර පීඩනය mmHg 3කින් අඩු කිරීම, ආඝාතය නිසා මියයෑම 10%කින් සහ, හෘදයාබාධයකින් මියයෑමෙහි අවදානම ආසන්න වශයෙන් 53කින් අඩු කර දමන්නකි.



මා විසින් පෙති නොගෙන, මගේ රුධිර පීඩනය අඩු කරගන්නා ප්‍රායෝගික පියවරවල් සාරාංශ වශයෙන් ඉදිරිපත් කළ හැකි ද?

පෙර දී සාකච්ඡා කළ පරිදි, ආහාර ගැනීමේ පුරුදුවල සහ ජීවන ශෛලියේ සමහර සරල වෙනස්කම් කිරීම මගින්, රුධිර පීඩනය පාලනය කිරීමේ ඉතා වැදගත් පියවර සැලැසිය හැක.  දෙනික ලුණු කෑම අඩුකිරිම එක් ප්‍රධාන පියවරකි. අඛණ්ඩ ස්වායු කායික ව්‍යායාම, වේගවත් ඇවිදීමක් පමණක් පවා, රුධිර පීඩනය පහත හෙළීමට උපකාරි වෙයි. මත්වතුර බීම අඩුකිරීම තවත් වැදගත් පියවරකි. රුධිර පීඩනය පාලනය කිරිමට, බර අඩු කිරීමේ වැදගත්කම මේ වනවිටත් සාකච්ඡා කොට ඇත.

විවිධ ජීවන ශෛලී පියවරවල් රුධිර පීඩනය කෙරෙහි බලපාන ආකාරය ගැන කලක් තිස්සේ කරන ලද අර්ථවත් නිරික්‍ෂණයන් කිහිපයක් ද ඇත.

දැනට එළිවෙමින් ඇති පරික්ෂණ සාක්ෂි විශාල ප්‍රමාණයන්ට අනුව, ෆ්ල්වැනෝල් (Flavanol) බහුල කළු පැහැති චොකලට් දිනපතා පරිභෝජනයෙන්, අවදානමට ලක්ව ඇති අය ගේ රුධිර පීඩනය වැළැක්විය හැකි බව කියැවෙයි.  රුධිර පීඩනය ආහාරයට සම්බන්ධව ඇති ආකාරය ගැන, පසුගිය සියවසේ ජර්මනියේ කතෝලික පූජකවරුන් කොටස් දෙකක් අතර, අර්ථාන්විත නිරික්ෂණයන් කිහිපයක් පවත්වා ඇත. 'මෞන තපස් පූජකවරු' (Irappist monks) නිර්මාංශවාදීන් වූ අතර, 'බෙනඩික් නිකායික පූජකවරු' ( Benedictine monks) මාංශ භක්‍ෂිකයෝ වූහ. ඔවුනොවුන් ගේ ආහාර භෝජන සිරිත් විරිත් හා සම්බන්ධයෙන් මෙම පූජකවරුන් පිළිබඳ කලක් තිස්සේ නිරීක්‍ෂණය කළ වෛද්‍යවරුන් දුටුවේ, නිර්මාංශභක්ෂික මෞන තපස් පූජකවරුන් වයසත් සමග ඔවුන් ගේ රුධිර පීඩනයේ වැඩිවීමක් නොදැක් වූ මුත්, මාංශභක්ෂික පූජකවරුන් ගේ එහි  වැඩිවීමක් දැක් වූ බවකි.

මෞන වෘත තවුසන්ගේ නිර්මාශි ආහාරය, ඔවුන් රුධිර පීඩනය වැඩිවීමෙන් ආරක්ෂා කළබව ඔවුහු  වෛද්‍යවරුන්ට සිතූහ. (මූලාශ්‍රය:-(Med Klin 1930: 25: 929-31).


ඒ ආහාර කථාව කෙසේ වුවත්, ඉතා මෑතක දී පරීක්ෂණයකට ලක්කොට ඇති වාර්තාවෙන්, සෝඩියම් අඩු ආහාරය, අධික  රුධිර පීඩනයෙන් ආරක්ෂා කරන බවත්, සෝඩියම් අධික ආහාරය,  අධික රුධිර පීඩනය ඇති කරන බවත්, ඔප්පුකොට ඇත. එයට  වෙනස් ව, පොටෑසියම් අධික ආහාරය රුධිර පීඩනය පාලනය කරන බවට දැනගන්නට ද ඇත. කෙසෙල් ගෙඩි (ඇම්බුන්) සහ පොටෑසියම් බහුල වෙනත් පලතුරු ද, රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරි වන්නකි.

අධික රුධිර පීඩනයට ප්‍රතිකර්මයක් සේ ඔප්පු කොට ඇති ආහාරය DASH ආහාරයයි. ඉංග්‍රීසියෙන් DASH යනු Dietary Approaches to Stop Hypertension යන්හි මුලකුරු ය. ඉන්  කියැවෙන්නේඅධික රුධිර පීඩනය නතර කරන ආහාරමය ප්‍රවේශයන් යන්නයි.  DASH ආහාරය දෙනික සෝඩියම් බුදින ප්‍රමාණය ග්‍රෑම් 1.2ක කට සීමා කෙරේ. අප ගේ සාමාන්‍ය දිනපතා ආහාරයේ සෝඩියම් ග්‍රෑම් 3.5ක් අඩංගු වන අතර එය අපේ රුධිර පීඩනය සෑම වර්ගයකම 0.33 mmHg ප්‍රමාණයකින් වැඩි කෙරේ. එහෙත් DASH ආහාරය රුධිර පීඩනය වයසට යත් ම වැඩිවීම වළක්වයි.


රුධිර පීඩනය පාලනය කිරිමෙහි ආහාරීය බලපෑම ඔබ වයසට යත්ම වඩා ප්‍රබලව දැනේ. එයාකාරයෙන් ම නරකාහාර (සෝඩියම් අධික) ගැනීමෙන් රුධිර පීඩනය ඉහළයෑමත් වඩාත් ප්‍රබලව දැනේ. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරි වන අනෙක් ආහාරය මධ්‍යධරණි ආහාරයයි. ලුණු කෑම අඩු කිරීමෙන් ඔබ ගේ රුධිර පීඩනය තරමක් දුරට පාලනය කළ හැක. බර අඩු කිරීමෙන් සහ අඛණ්ඩව කායික ව්‍යායාම, තව දුරටත් රුධිර පීඩනය පහත හෙළීමට උපකාරි  වෙයි. මත්වතුර ගැනීමෙන් සීමා කිරීම හෝ සම්පූර්ණ යෙන් නතර කිරිම තුළින්, රුධිර පීඩනය පාලනය කිරීම කෙරෙහි ප්‍රබල ලෙස බල පැවැත්විය හැක. ආතතියෙන් පිරි අවස්ථා අඩු කිරීමෙන් ද, සහ විවේකය සඳහා වන්නා වූ ක්‍රියාකාරකම්වල යෙදීම ද, රුධිර පීඩනය අඩු මට්ටමකට තබා ගැනීමට ද උපකාරි වෙයි.

පොටෑසියම් අධික ආහාර වර්ග සමහරක් මොනවා ද?

තම්බන ලද සුදු ඇට, ( කොළ බෝංචි, සෝයා, ලීම, බටර් බෝංචි, කිඩ්නි බීන්ස් රට මෑ/බූ මෑ (Kidney beans) සහ කොළ පැහැ හරිත එළවළු වර්ගයන්හි, පොටෑසියම් අඩංගු ප්‍රමාණය වැඩි ය. වියලූ ඇප්‍රිකොට්'රටකොට්ටන්" (Apricots), කෙසෙල් ගෙඩි (ඇම්බුන්), සහ හතු වල ද, පොටෑසියම් අඩංගු ප්‍රමාණය අධික බවට විස්තර වෙයි.

ඇට වර්ග හා වියළූ පලතුරු ද පොටෑසියම් බහුල ආහාරයන් ය. වියළි පැළෑටි වර්ග හා පලතුරු, කුළුබඩු, සහ තදකළු චොකලට් පවා, පොටෑසියම් බහුල යහපත් ආහාරයන් ය.  ඔබට කිසියම් වකුගඩු ප්‍රශ්න ඇත්නම්, නැතහොත්, සිරුරේ රඳවා ගැනීම සිදුකරන ඖෂධවර්ග කිසිවක් ගන්නේන්නම්, ඔබ අදාළ වෛද්‍යවරයාගෙන් විමසීමක් නොකොට, පොටෑසියම් අධික ආහාර වර්ග නොගැනීමට සනිටුහන් කරගැනීම නම්, ඉතා වැදගති.

 වඩාත් අවදානම දියවැඩියාව ද, නැතහොත් අධික රුධිර පීඩනය ද?

වෙනත් ආබාධ තිබිය දී, දියවැඩියාව හා අධික රුධිර පීඩනය යන දෙක ම, හෘදයාබාධයක් හෝ ආඝාතයක් හෝ ඇතිවීමේ ඉඩ ප්‍රස්තාව වැඩි කෙරේ. එහෙත් දෙක එකට ඇත්නම්, ඒවා හෘදයාබාධයක් සහ ආඝාතකයක් සහ ඒවා මරණයට පත්වීමේ මට්ටම වඩාත් ඉහළ ය. ඊට අතිරේකව මෙම අවදානම් සාධක දෙක ම, වකුගඩුවලට හානි කරන අතර, රුධිර නාලිකා ද විනාශ කරන්නේ ය. එමනිසා ඒ ද්විත්වයම ඇත්නම්, ප්‍රතිරෝධී ප්‍රහාරාත්මක නියමිත ඖෂධවලින් ඒ දෙක ම පාලනය කිරීම අත්‍යවශ්‍ය ය.  අධික රුධිර පීඩනය අප සමාජයේ බහුල ය. එයින්

දියවැඩියාව වඩවඩාත් සුලභවෙමින් පවතියි. පුදුමයට මෙන්  අධික රුධිර පීඩනය සහ දියවැඩියාව, දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්  සංතතිය ම, තමන්ට එම තත්ත්වයන් ඇති බව නොදැන සිටීමයි.  එසේ හෙයින් වයස අවුරුදු 40 ලැබුවිට ම, ඔබ සෑම සය මාසයකට  වරක්වත් ඔබ, ඔබ ගේ වෙදවරයා ලවා ඒවා පරීක්‍ෂකරවා  ගැනීම ඉතා වැදගත් ම ය.

අධික රුධිර පීඩනයෙන් මට හිසරදය ඇති විය හැකි ද?

සාමාන්‍යයෙන්, අධික රුධිර පීඩනය කිසිම රෝග ලක්ෂණයක් ඇති නොකරයි.එහෙත් එය ඉතාමත්ම අධික වුවහොත්, එයට හිසරදය සහ සමහර විට දෘෂ්ටි අවහිරතා, සිහිසුන් වීම, හෝ අපස්මාරය ද ඇති කළ හැක. හිසරදය සහ දෘෂ්ටි අවහිරතා ඇති කිරීමට තරම් රුධිර පීඩනය ඉහළ ගියහොත්, එය වෛද්‍යමය හදිසි අවස්ථාවක් වන අතර, ආරෝග්‍යශාලාවක, අධික ලෙස රැකබලාගන්නා  (නඩත්තු කරන) වාට්ටුවක නේන්වාසිකව, හෘදය ඉතා සමීපව අධික්ෂණය කරමින් ප්‍රතිකාර කළ යුතු ය. මෙම තත්වයට 'මාරක අධික රුධිර පීඩනයයි ද කියනු ලැබේ. මෙම තත්වය, මොළය ඉදිමීමේ දරුණු තත්ත්වයට ද ගෙන යෑ හැකි ය.

රුධිර පීඩනය මගේ දෘෂ්ටි පථයට බලපෑම් කළ හැකි ද?

 දිර්ඝ කාලයක් පවතින අධික රුධිර පීඩනය, ඇසේ පිටුපස ඇති කුඩා රුධිරවාහිනිවලට හානි පැමිණවිය හැකි ය. බොහෝ කාලයක් මෙම තත්වය පැවැතුනහොත්, ඇසේ ආලෝක සංවේදී ස්නායු ඇති පසුපස කොටසට හානි කළ හැක. රුධිර පීඩන මට්ටම ආන්තික ලෙස ඉහළ නැගුනහොත් (මෙය ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවිය හැක) මොළයට දෘෂ්ටි සංඥා ගෙනයන ප්‍රධාන ස්නායුව ඉදිමී, හිසරදය සමග නොපැහැදිලි දෘෂ්ටියක් දැකිය හැක.

අධික රුධිර පීඩනය විසින් ආඝාතය ඇති කරයි ද?

ඔව්, සත්තකින් ම. ආඝාතයේ ප්‍රධාන හේතුව අධික රුධිර පීඩනයමයි. මෙවන් ආඝාතයන් මොළයට ලේ සපයන ධමනි හදිසියේ අවහිරවීම නිසා සිදුවිය හැක්කකි. අධික රුධිර පීඩනයට මොළයේ රුධිර නාලිකා පිපිරවිය හැකි අතර, මොළයේ ලේ ගැලීමක් ද ඇති කළ හැකි ය. මෙය ද විනාශකාරි ආඝාතයන් සිදු කළ හැක.  හොඳ ආරංචිය රුධිර පීඩනය පාලනය කිරිමෙන් ඉතා ඵලදායි ලෙස ආඝාතයන් වැළැක් විය හැකිය යන්න ය. ඇත්ත වශයෙන් ම රුධිර පීඩනයේ සුළු පහත වැටීමකට පවා, ආඝාත ඇතිවීමේ අවදානම තථ්‍ය ලෙස පහත හෙළිය හැකි බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත‍. එක් අද්‍යනයක රුධිර පීඩනයේ  සෑම 2 mmHg වැටීමක දී ම, ආඝාත අවදානම 10කින් අඩු වූ බව පෙන්වා දී ඇත. (Lancet 2002).

රුධිර පීඩනය මැනීම
රුධිර පීඩනය මැනිය හැකි විවිධ ක්‍රම මොනවා ද?


වෛද්‍යවරයා ගේ ශල්‍යාගාරයේ දී, රුධිර පීඩනය මිනිය හැක. එහෙත් කාර්යාලයක දී ඒ සඳහා යොදා ගන්නා මිණුම්, ඉතා නිවැරදි නොවිය හැකි අතර, දවසේ බොහෝ අවස්ථාවල සැබෑවට ම රුධිර පීඩනමානය කවරේදැයි පිළිබිඹු නොකරන්නේ ය. මෙම තත්වයෙන් මිදීම සඳහා පැය 24ක කාලයක් තුළ අඛණ්ඩව, පරතරයන් සහිතව, රුධිර පීඩනය මනින ක්‍රමයක් ද ඇත. මෙම තත්වය තුළ, ස්වංක්‍රීයව, රුධිර පීඩනය මනින උපකරණයක් අදාළ පුද්ගලයාට සවි කරන්නේ ය. මෙවන් මිනුම් වඩාමත් නිවැරදි වන අතර, ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණය ගැනීමෙහිලා වෛද්‍යවරයාට එය වඩාත් උපකාරි වෙයි.

අත්පටයක් සහ ස්වයංක්‍රීය රුධිර පීඩනමානයක් (මොනිටරයක්) උපයෝගී කරගෙන නිවසේ දී රුධිර පීඩනය මැනීම ද, නිසි පරිදි සහ නිරන්තරයෙන් කරන්නේ නම්, එය ද ප්‍රයෝජනවත් වෙයි.

මගේ වෛද්‍යවරයාට මා මත පැය 24, රුධිර පීඩන මාපකයක් සවිකිරිමට අවශ්‍ය වෙයි.  මට එසේ කළයුත්තේ මන් ද?

පැය 24ක කාලයක් තුළ අඛණ්ඩව පරතරයන් සහිතව, පැය 24 රුධිර පීඩනමාපකය, ඔබ ගේ රුධිර පීඩනය මනිනු ඇත.   මෙම මිනුම්, දවසේ විවිධ කාලයන් තුළ , ඔබ ගේ රුධිර පීඩනය කවරක්දැයි පෙන්වා දෙයි. දවසේ වැඩි කාල පරාසයක් තුළ ඔබගේ රුධිර පීඩන මිනුම කුමක්දැයි මෙම මිනුම්වල සාමාන්‍ය ගණනය ද බලාගත හැක. ඔබ ගේ රුධිර පීඩනය, ප්‍රතිකාර ආවශ්‍ය වන තරමට බොහෝ විට, ඉහළ අගයක් පවතින්නේ ද යන්න ද දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි ඔබට ප්‍රතිකාරයන් ආරම්භ කළ පසු, ඔබ ගේ රුධිර පීඩනය පාලනය ව ඇති ද, එහි කුමන වෙනස්කම් ඇත් ද, වෙනස්කම් කළ යුතු ද යන්න තීරණය කිරීමට එම මාපකය යොදා ගත හැක.

වෛද්‍යවරයා ගේ ශල්‍යාගාරයේ දී ගනු ලබන පීඩන මිනුම්වලට වඩා, පැය24 රුධිර පීඩනමාපකය, ඔබ ගේ රුධිර පීඩනය පිළිබඳ වඩාත් නිවැරදි සහ ප්‍රයෝජනවත් තොරතුරු දෙන බව, පර්යේෂණයන් පෙන්වා දී ඇත.


මගේ රුධිර පීඩනය මම ම පරීක්ෂා කරමි

මා කරන්නේ නිවැරදි දෙයක් ද?


නිසි පරිදි කරන්නේ නම්, තමාට රුධිර පීඩනය මැනීම ප්‍රයෝජනවත් සහ නිවැරදි ද වෙයි. නිසි ලෙස කෙරේ නම්, ඇත්ත වශයෙන් එය, වෛද්‍යවරයා ගේ ශල්‍යාගාරයේ දී කැරෙන රුධිර පීඩන මිනුමට වඩා නිවැරදි සහ ප්‍රයෝජනවත් ද වෙයි. ඇත්තට ම එය නිවැරදිව කළ යුතු ම වෙයි. එනම් පෙරවරු මිනුම් දෙකක් සහ පස්වරු මිනුම් දෙකක් ගැනීම ය. මෙය සත් දිනක් තුළ කළ යුතු ය. එම මිනුම් (දත්ත) කඩදාසියක සටහන් කරගෙන, ඔබ, ඔබ ගේ වෛද්‍යවරයා වෙත රැගෙන යන්න.

වෛද්‍යවරයා, අවසන් දින සයේ අදාළ මිණුම්වල සාමාන්‍ය ගණනය (පළමු දිනයේ මිනුම්හි වැරදි තිබිය හැකි ය). ඔබ ගේ රුධිර පීඩනය, ඔබ ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහ පරිසරය තුළ කෙසේ හැසිරෙන්නේ ද අවබෝධ කර ගැනීමට යොදා ගනු ඇත. අතේ මැණික් කටුවේ යොදාගන්නා ස්වංක්‍රීය රුධිර පීඩන මාපක කියවීම, ඉතා නිවැරදි නොවන හෙයින්, ඒවා භාවිතය  නොකරන්න. වළකින්න. යෝග්‍යතම රුධිර පීඩන මාපක උපකරණය, ඔබ ගේ අතේ බාහුවට සවි කළ හැකි. අත්පටයක් සහිත ස්වංක්‍රීය යන්ත්‍රයකි.

නිවසේ දී ඔබ ගේ රුධිර පීඩනය මනින ක්‍රමය

1. රුධිර පීඩනය, උදේ දෙවරක් සහ රාත්‍රියට දෙවරක්, පරීක්ෂා කරන්න.

2. ඔබ ගේ මිනුම් (දත්ත) කඩදාසියක සටහන් කරන්න.

 3. දින හතක් තුළ මෙය අඛණ්ඩව කරන්න.

4. ඔබ ගේ මිනුම් වෛද්‍යවරයා වෙත රැගෙන යන්න.


 "සුදු කබා” (White cott) අධික රුධිර පීඩනය යනු කුමක් ද?


රුධිර පීඩනයක්, වෛද්‍යවරයා ගේ කාර්යාලයේ දී හෝ ප්‍රාදේශීය ඖෂධාලයේ දී (ඔස්ටේර්ලියාව වැනි රටවල මෙසේ ඇත) පරික්ෂාවට භාජනය කළ හැක. ඇතැම් මිනිස්සු, වෛද්‍යවරයා ගේ කාර්යාලයේ දී අධික රුධිර පීඩනය තත්ව, අධික රුධිර පීඩනයන්  පෙන්නුම් කරති. මෙම සංසිද්ධියට "සුදු කබා බලපෑම" යනුවෙන් හඳුන්වන්නේ, වෛද්‍යවරයා මුණ ගැසීමෙන් ඇතිවන කාංසාවක් හගවමිනි. සාම්ප්‍රදායිකව, පැරණි වෛද්‍යවරු, "සුදුකබා” ඇඳීමට පුරුදුව සිටියහ. වර්තමානයේ වෛද්‍යවරුන් සුළු පිරිසක් පමණි එසේ කරන්නේ. එහෙත් වෛද්‍යවරයකු හමුවීමෙන් ඇතිවන්නා වූ රුධිර පීඩනයේ නැගීම තවමත් "සුදුකබා අධික රුධිර පීඩනය යන වැකියෙන් හැඳින්වෙයි..

"සුදුකබා අධික රුධිර පීඩනය” පුද්ගලයකු අඩු මට්ටමේ ආතති තත්වයට මුහුණ දුන් විට ඇතිවන රුධිර පීඩනය, ඉහළ යෑමෙහි ප්‍රවණතාවය පෙන්නුම් කරන්නකි. එයින් අදහස් කරන්නේ  මෙම ජනතාව ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල, අධික රුධිර පීඩනය අත් විඳින බව, විස්වාස කරන අතර, මෙම අවදානම් මට්ටම, අනාගත හෘදයාබාධ සහ ආඝාතයන් සහ  වෙනත් වෛද්‍ය සංකූලතා ඇති කෙරෙන්නක් ද වෙයි. එමනිසා “සුදුකබා අධික රුධිර පීඩනය" ඇති අයට, රුධිර පීඩනය පහත  හෙළන ඖෂධවලින් ප්‍රතිකාර කළ යුතු ය.

සාමාන්‍ය රුධිර පීඩනය මිනුම් මොනවා ද?

සාමාන්‍ය රුධිර පීඩනයක්, වෛද්‍යවරයා ගේ ශල්‍යාගාරයේ දී මනිනු ලබන විට, mmHg 140/90 වඩා අඩු විය යුතු ය. රුධිර පීඩනය සාමාන්‍යයෙන් උදේ අධික වන අතර, එය රාත්‍රියට වඩා දිවාකාලයේ දී එසේ ම වෙයි. රාත්‍රියේ සිදුවන මෙම මෘදු රුධිර පීඩනය පහත වැටීම් (10%ක් හෝ එයට වැඩියෙන්) යහපත් සෞඛ්‍යයක ලක්ෂණයකි. එමනිසා සාමාන්‍ය දිවාකාලයේ රුධිර පීඩනය mmHg 135/85. වඩා අඩු විය යුතු ය. රාත්‍රි කාලයේ පීඩනය mmHg 120/70. අඩු විය යුතු ය.

මගේ වෛද්‍යවරයා මා පරික්ෂා කරද්දී මගේ රුධිර පීඩනය මහත් සේ විචල්‍ය වෙයි.

එය සැලකිල්ල දැක්විය යුතු දෙයක් ද?


රුධිර පීඩන මිනුම්හි විචල්‍යාභාවය, මනා රුධිර පාලනයක් නොමැති බව හගවන්නකි. එය හෘද රෝගවල පුරෝකථනයක් ද විය හැක. එසේ හෙයින්, වඩාත් සුමුදු පාලනයක් ලබා ගැනීමට,  ඔබ ගේ වෛද්‍යවරයා, ඔබ ගේ ඖෂධ වෙනස් කිරීම අවශ්‍ය කරවයි.  

- හෘද රෝග විශේෂඥ වෛද්‍ය රොහාන් ජයසිංහ ලියූ ‘උපරිම හදවත් සුවයට‘ පොතෙන් උපුටනයකි.
(පරිවර්තනය - වෛද්‍ය සංජය ජයසිංහ හා වඩනම්බි ජයසිංහ)