wedding-fraud

පුවත්පතක මංගල දැන්වීමකට අනුව කාන්තාවක හඳුනා ගෙන ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් ලබා ගෙන වංචා කොට ඇති බව කියන සැකකරුවකු දෙසැම්බර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඉකුත්දා (23) නියෝග  කළාය.   නාරම්මල අබගම්මන එච්. ඇම්. විජේතිලක බණ්ඩාර නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.

  පුවත්පතක පළ කොට තිබූ මංගල දැන්වීමකට අනුව නිට්ටඹුව වේබඩගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අඳුරා ගෙන ඇය සොයා ගොස් ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් තිස් හතර ලක්ෂයක මුදලක් ලබා ගෙන වංචා  කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරික්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.ඩබ්ලිව්. ඇල්. රවීන්ද්‍ර මහතා කරුණු දක්වමින් පුවත්පතක පළ කොට තිබූ මංගල දැන්වීමකට අනුව සැකකරු පැමිණිලිකාරිය හඳුනා ගෙන ඇයව විවාහ කර ගන්නා බවට  පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් වංචනිකව ලබා ගෙන සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව කියා සිටියේය.  සැකකරු අවස්ථා කිහිපයකදී එම මුදල් ලබා ගෙන ඇති බව පරික්ෂණවලදී හෙළි වී ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කීය.




මෙහිදී නීතීඥ  ප්‍රදීප් සංජීව මහතා කරුණු දක්වමින් සැකකරු රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් නොව රුපියල් ලක්ෂ විසි හතරක මූදලක් ඇඳුනුම් කම මත ලබා ගෙන ඇති බව පිළිගන්නා බව කියා සිටියේය.  එම ලක්ෂ විසි හතරක මුදල වාරික හතරකින් පැමිණිලිකාරියට ගෙවීමට සැකකරු පොරොන්දු වන බවත් ඒ පිළිබඳව සලකා බලා ඔහු ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියේය.  මෙහිදී සැකකරු රුපියල් ලක්ෂ විසි  හතරක මුදලක් පැමිණිලි කාරියට ගෙවන බවට පොරොන්දු වීම මහේස්ත්‍රාත්වරිය නඩු පොතේද සටහන් කර ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කරමින් එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග  කළාය.  නැවත කැඳවීම දෙසැම්බර් මස 06  වනදාට කල් තැබිණ.

 -ආනන්ද ඉ. ජයකොඩි-