marriage-advice

විවාහය කියන එකෙන් අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් සැමියා බිරිඳ ලෙස ජීවිතාන්තය දක්වාම එකට ජීවත් වීමේ අරමුණෙන් තීරණයක් අරගෙන නීත්‍යනුකූලව එක්වීමට.  සෑම මිනිසෙකුටම ගැහැනියකටම විවාහ වීමේ නිදහස තියෙනව. අයිතිය තියෙනව. සමහරු සිය කැමැත්තෙන්ම අවිවාහකව ඉන්නව. ඒක ඉතිං පෞද්ගලික කැමැත්ත.  නමුත් බහුතරයක් මිනිස්සු සාමාන්‍යයෙන් විවාහ වෙනව. දළ වශයෙන් සියයට 95 ක් පමණ මිනිස්සු විවාහ වෙන්න අවශ්‍ය බවත්, කැමති බවත් සංගණනයකදි හෙළිවෙලා තිබුණ. ඒත් ඇත්තටම ඇයි මිනිස්සු විවාහ වෙන්නෙ? හේතු නං ගණනාවක් තියෙන්න පුළුවන්.

ඔබ කසාද බැඳපු කෙනෙක් නම්, බඳින්න ඉන්න කෙනෙක් නම්, ඔබේම හිත්තෙන් අහල බලන්න ඇයි ඔබ බඳින්න අදහස් කළේ, තීරණය කළේ කියල.
හේතු නං අනන්තවත් ඇති. අතිශයින් පෞද්ගලික වූ හේතුත්  ඇති.



කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් විවාහයක් තුළ බලාපොරොත්තු වන සාමාන්‍ය කරුණු කීපයක් ගැන විතරක් අරගෙන බලමු. ප්‍රධාන වශයෙන් මිනිස්සු විවාහ වෙන ආදරය ලැබීමට සහ ආදරය කිරීමට, ලිංගික සතුටක් විඳගැනීමට,දරුවන් බිහි කිරිමට, මව් පියන් වීමට ඇති උවමනාවට, අනාගත සුරක්ෂිත බවට, තනියම ජීවත් වීම අපහසු නිසා, මහලු වියේදී බලා හදාගැනීමට කෙනෙක් අවශ්‍ය නිසා, වැඩපළ කර ගැනීමට සහකරුවෙක් අවශ්‍ය නිසා. මේ වගේ කරුණු රාශියක් ඉදිරිපත් වෙන්න පුළුවන්.
ඒත් හොඳට කල්පනා කරල බැලුවොත් විවාහයක් තුළින් අපි බලාපොරොත්තු වෙනව කියන ඉහත සඳහන් හැම දේම වගේ ඕන නම් විවාහයකින් තොරව වුණත් ලබාගන්න පුළුවන්.  

අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න, ලිංගික සුවයක් ලබන්න, ආදරයක් ලබන්න, වැඩකටයුතුවලට සහකරුවෙක් ගන්න, තනිකම නැතිකර ගන්න, වගේ ඔය කොයි දේ වුණත් ලබාගන්න පුළුවන් විවාහය කියන සංස්ථාවෙන් පිටත වුණත්. නේද?..  එහෙම නං ඇයි මිනිස්සු විවාහ වෙන්නෙ? මොකටද විවාහය කියල දෙයක් තියෙන්නේ?

ඇත්තෙන්ම ඔය ඉහත කියපු දේවල් විවාහයෙන් පිටත ලබන්න පුළුවන් විතරක් නෙමේ අනන්තවත් මිනිස්සු එහෙම කරනව.  මිනිස්සු අසම්මත සබඳතාවල පැටලෙනව. විවාහයකින් තොරව දරුවන් බිහිවෙනවා. විවාහයකින් තොරව අනන්තවත් ලිංගික සබඳතා ඇතිකර ගන්නවා. විවාහ වෙලා ඉන්දැද්දිත් වෙන විවාහයක අය සමග අනිසි මිතුදම් ඇතිකරගෙන දරුවන් පවා ඇති වෙන තරමට දුරදිග යනව. විශේෂයෙන් මැද පෙරදිග රටවලට යන ලාංකිකයෝ ලංකාවෙදි නීත්‍යානුකූල නොවන අසම්මත විවාහ ඇතිකරන්ගෙන එළිපිටම අඹුසැමියන් ලෙස ජීවත් වෙනව. (හැමෝම නෙමේ ඒත් සැලකිය යුතු පිරිසක්) මේ අතරෙන් වැඩි දෙනෙක් ලංකාවේ නීත්‍යනුකූලව විවාහ වූ අය. සමහර විට දු පුතුන් ඉන්න අය. මැද
පෙරදිග රටවල අනියම් සබඳතා පැවැත්වීම සාමාන්‍ය දෙයක් විදියට දකින්න තරමට නීත්‍යනුකූල නොවන සබඳතා අනන්තවත් දකින්න ලැබෙනව.

මේ දේවල් ගැන කල්පනා කරද්දි "විවාහය” කියන සංස්ථාව ගැන සංකල්පය ගැන අපිට මොනවද හිතන්න පුළුවන්? විවාහයකින් තොරව, විවාහක ජීවිතයෙන් ලබන හැම දේම නිදහසේ ලබාගන්න පුළුවන් නම් ඇයි විවාහයක් කියල දෙයක් දෙයක් තිබිය යුත්තේ කියලත් හිතන්න පුළුවන් නේද?   ඒ විදියට බැලුවොත් විවාහය කියන එක බොහොම නුදුරු අනාගතයෙදි අහෝසි වෙලා යාවි කියලත් හිතෙනව නේද?



මට නං හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න ඕනත් නෑ. මිනිසුන්ට නීත්‍යනුකූල විවාහය කියන එක අවශ්‍යයි. ඒක පෞද්ගලිකවත් සාමාජීය වශයෙනුත් හොඳයි විතරක් නෙමේ අත්‍යවශ්‍යයි. තිරිසනුත් නොවන සත්වයන් ලෙස ගැනෙන මිනිස්සුන්ට "විවාහය” කියන එක අවශ්‍යම දෙයක්. ශීලාචාර පැවැත්මකට.
එහෙම නං ඇයි මිනිස්සු විවාහ ජීවිතය තුළ අනුමත කරල තියෙන සම්මතයක් ලෙස පිළිගැනෙන දේ විවාහයෙන් පිටත හොයාගෙන යන්නේ? එතනදි වරද තියෙන්නේ විවාහයේ නෙමේ. විවාහය කියන උතුම් බන්ධනයට වැරදි විදියට, වැරදි චේතනාවෙන් වැරදි අදහස් ඇතිව ඇතුළුවන අය අතේ.


විවාහය කියන එක ගෞරවනීය, යහපත්, නීත්‍යනුකූල සදාකාලික ගිවිසුමක් විදිහටයි අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉඳලම අපි පිළිගත්තෙ..  සැබෑ විවාහය තුළ ආදරය, ශිෂ්ටත්වය, ශුද්ධත්වය රජයනව. එය තුළ විශාල නීතිමය, සාමාජීය, සම්ප්‍රදායික වටිනාකමක් වගේම රැකවරණයක් තියෙනව. ආධ්‍යාත්මික මානසික සැනසීමක් සතුටක් තියෙනව. දරුවන් බිහිකිරීමේ සහ ආරක්ෂා කිරීමේ ඇති දැඩි කිරීමේත් වගකීමක් සැලකුත් අන්තර්ගත වෙලා තියෙනව. මේ සැමටම වඩා විවාහය කියන රාමුව තුළ පුදුමාකාර ආදරයක්, සතුටක් ජනිත වෙනව වගේම ඒ ආදරය තුළින් මුළු සමාජයම අවශ්‍ය දයාබරත්වය විහිදී යනව.

විවාහය ඒ තරම්ම වටිනා උතුම් හොඳ සැලැස්මක් බව හැමෝම වගේ දන්නව, පිළිගන්නවා. ඒකයි වැඩි දෙනෙක් කසාද බඳින්න යොමුවෙනි. ඒත් විවාහපත් වන දෙදෙනකුගේ ප්‍රධානතම සුදුසුකමක් චේතනාවත් විය යුත්තේ අවංක අන්‍යෝන්‍ය ආදරය, විශ්වාසය සහ පරිත්‍යාගශීලී කැපවීමයි. ඒ උතුම් ගුණාංග ඇතිව විවාහපත් වන දෙදෙනකුට කවදාවත් වරදින්න විදියක් නෑ. ඒත් බොහෝ විවාහ කඩාකප්පල් වෙන, බොහෝ අය විවාහයෙන් පිටත අසම්මත දේ වෙත යොමුවෙන්නෙ මේ ආදරය, විශ්වාසය, අවංකකම සහ පරිත්‍යාගශීලී කැපවීම නැති හින්දයි.  මැද පෙරදිග තියා කොයි දීපංකරේක ගියත් අවංකව තම සැමියාට, බිරිඳට, ආදරේ කරන, විශ්වාසවන්ත, අවංක කෙනෙක්  කවදාවත් විවාහ ජීවිතයේ උතුම් පොරොන්දු, ගිවිසුම් කඩ කරන
නෑ. එහෙම වෙනව නම් ඒ ආදරේ නැතිකම මිසක් විවාහයේ වරදක් නිසා නෙමේ.

විවාහයෙන් උත්තරීතර බව, පිවිතුරු ශුද්ධවත් බව වටිනාකම කවදාවත් අඩුවෙන්නේ නැහැ. ඒත් ඒක හැල්ලුවට ලක්කරන විදිහ  දේවල්වලට පෙළඹෙන්නේ, හිත පිවිතුරු නැති, අවංක නැති,  තමන්ව පාලනය කරගැනීම පුරුදු නැති, ජීවිතයේ උතුම් වටිනාකම් හඳුනාගෙන නැති අයයි. සදාචාරාත්මක විවාහ රාමුවකින්. පිටත ගෙවන "අනියම්  සැපත" කිසිදාක දිගුකාලීන සතුටක් හෝ සැනසීමක් ගෙනෙන්න‍ෙ
නැති බව සමාජයේ සිද්ධ වෙන දේවල්වලින්ම පේනව. අවසානයේදී ඇතිවෙනෙ බෙල්ලෙ වැල දාගන්න නැත්නම් මරාගෙන මැරෙන්න තමේ විඩාපත් කළකිරුණු කාලකණි මානසික තත්වයක් විතරයි.



විවාහයෙන් පිටත ලැබුණු දරුවන්ට සමාජයේ අත්වන සැලකිල්ල ගැන කියන්න අවශ්‍ය නෑනේ. නූපන් දරුවන් කුස තුළ නැති කිරීමේ අපරාධයේ බරපතලකම ගැන කියන්න අවශ්‍ය නෑනේ. කැඩුණු බිඳුණු පවුල අසමගිය, දරුවන් අවතැන් වෙලා විඳින දුක, මරණය දක්වා විඳවන්න වෙන මානසික පීඩාව ඇස් තියෙන ඕනැම කෙනෙකුට දකින්න පුළුවන්. බොහෝ විට මේවිවාහය තුළ ලැබිය යුතු දේ විවාහයෙන් පිටතදී ලබන්න ගිහින් ඇතිකර ගත්තු ආදීනව..ඉතින් ඔබ විවාහක නම්, විවාහ ජීවිතයට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනව නම් හොඳින් තේරුම් ගන්න විවාහ ජීවිතය කියන එකේ වටිනාකම වගේම වගකීම. ඒ වගේම විවාහ ජිවිතයට කියන එකේ වටිනාකම වගේම වගකීම. ඒ වගේම විවාහ ජීවිතයට ඇතුල් වීමේදී අත්‍යවශ්‍ය සුදුසුකම්. ඒවා තමා අවංක ආදරය, විශ්වාසවන්තකම සහ පරිත්‍යාගශීලී කැපවීම. ඔබ මේ ගුණාංග තුළින් සැබෑ ආදරයකින් එක්වුණොත් කවදාවත් ඔබට විවාහ ජීවිතය නීරස වෙන්නෙ නෑ. එහෙම නැතිවුණොත් තමා ඔබ විවාහයේ ශුද්ධවත් බව කෙළෙසමින් අසම්මත දේ වැරදි දේ පසු පස දිවයන්නෙ. ඒක පවස නිවා ගන්නට මිරිගුව නැත්නම් බොරදිය පසුපස හඹා යාමක් විතරයි.

 ඒ හින්ද ඔබ විවාහක නම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනව නම්, අවංකවම දෙන්නට දෙන්න ආදරේ නම් විතරක් තමයි විවාහය සුරැකෙනෙ කියන එක තේරුම් ගන්න. ආදරයක් නැති විවාහය හිර ගෙයක්. ඒ නිසයි පැනයන්න බලන්නෙ. එහෙම නෙමේ. සැබෑ ආදරය කියන විවාහය මල් උයනක්.   කොයි යුග දිවියෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා පරිත්‍යාගශීලීව ආදරෙන් විසඳාගැනීමයි දක්ෂකම. අනියම් සැප සොයා ගිහින් අමාරුවෙ වැටෙන එක නෙමේ.

ඉතින් ඔබ විවාහයේ උතුම්කම සුරකින්න. සදාකාලික චිත්ත ප්‍රීතිය, සාමය, ඔබේ යුගදිවිය සුරකීවි! මතු පරපුරටත් විවාහය ආදරයේ මල් පිපෙන ආරක්‍ෂිත තෝතැන්නක් වේවි!

උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු