සර්ව සම්පුර්ණ, සීයට සියයක් හොඳ අඹ ගෙඩියක් එහෙම ඔබේ නෙත ගැටිලා තියෙනව ද? ටිකක් අමාරුයි එහෙම අඹ  ගෙඩියක් හොයා ගන්න නේ ද? අඹ ගෙඩිවල පුංචි කළු තිත් තියෙන්න පුළුවන්. දුඹුරු පාට ගැහිලා තියෙන්න පුළුවන්. අමු ගැට තියෙන්න පුළුවන්. තැම්බිලා තියෙන්න පුළුවන්. ඉදිලා තියෙන්න පුළුවන්.  පණුවෝ විදලා තියෙන්න පුළුවන්....  මං හිතන්නෙ සීයට සියයක් ම හැම අතින් ම හොඳ ගැළපෙන බිරිඳක් හොයන එකත් මේ සර්ව සම්පූර්ණ අඹ ගෙඩියක් හොයනවා වගේ වැඩක්. හැම අතින් ම සර්ව සම්පූර්ණ සිහින කුමාරියක් ලැබුණා කියලා හිතුවත්, ඕනෑ ම බිරිඳක් තුළ පුංචි පුංචි අඩුපාඩු, දුර්වලකම් තියෙන්න පුළුවන්. බොහෝ විට මේ දුර්වලකම් මතුවෙන්නෙ, ලොකුවට පෙනෙන්න පටන් ගන්නෙ විවාහ වෙලා කලක් යනකොට.ඒත් උපක්‍රමශීලීව ඒ දුර්වලකම් හදාගන්න හොඳ සැමියෙකුට බැරිකමක් නැහැ. බිරිඳකගෙ සිතුම් පැතුම්, ජීවිත රටාව, රුචි අරුචිකම්, නැමියාවන්  යනාදිය හැකි තරම් අවබෝධ කරගෙන ක්‍රියා කිරීම තමා මෙහිදී ඉතාම වැදගත්. පුංචි පුංචි අදහස් කීපයක්, ඉඟියක් දෙන්නම්. සමහර විට ඔබේ විවාහය ප්‍රීතිමත් වීමට ඒක ඉවහල් වෙයි.



ඉදහිට පුංචි වර්ණනාවක් කරන්න.

හිටපු ගමන් බිරිඳව ටිකක් වර්ණනා කරන්න. බොරුවට කපටිකමක් නෙමේ. ඇත්තටම. ඔබට ඇය ප්‍රසන්න, හොඳ ගතිගුණ ඇති කෙනෙක් නිසානෙ ඔබ ඇයව බැන්දේ. ඉතින් ඔබ ප්‍රිය කරන, අගය කරන, ගුණාංග, දක්ෂතා ඇය තුළ තිබෙන බව ඔහේ ගණනකට නො ගෙන ඉන්නෙ නැතුව ඇයට කියන්න.  

"ඔයා වගේ කෙනෙක් මට බඳින්න ලැබුණ මගේ වාසනාවට.  මගේ ජීවිතේ ලස්සන ම කාලය උදාවුණේ ඔයා මුණ ගැහුණට පස්සේ  වගේ දෙයක් නිකමට කියලා බලන්න. හැබැයි අතිශයෝක්තියෙන් නෙමේ. ඇත්ත හැඟීමෙන්. ඇය පුදුම වන හැටි ගැන ඔබ පුදුම වෙන්න එපා. ඇය උයන කෑමවල රස, ගුණ අගය කරන්න. ඇඳුම් මැහීමේ  දක්ෂතාව, ගේ දොර පිළිවෙළකට තැබීම, උදෙන් ම නැගිටලා වැඩට ගෙනියන්න කෑම හදලා දෙන එක වගේ දේවල් ඉඳහිටවත් අගය කරමින් යමක් කියන්න. ඔබේ වර්ණනාව තරම් කාගෙවත් වණනාවක් ඇයට වටින්නෙ නැති වෙන්න පුළුවන්. මේ වගේ පුංචි ඇගයීමක් වුණත් ඇයට ගොඩාක් වටින නිසා ඔබෙන් මුතු මැණික් ඇය බලාපොරොත්තු වෙන එකකුත් නැහැ.



 එකට එක කියන එක හොඳ නෑ

ඉඳහිට වාචික රතිඤ්ඤා පත්තු කිරීම ඉතින් ගැහැනුන්ගේ සාමාන්‍ය සිරිතනෙ. පොඩ්ඩක් වැරදුණොත් සමහරු ඉතින් කොච්චි කරල වගේ තමා ඉතින්. ඉඳහිටලා ඇය ටකරමකට වහිනවා වගේ කෑගහලා බණින්න, සද්දෙ දාන්න එහෙම තියාගත්තොත් ඔබත් වාචික ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එපා. තරහා ගන්න, කඩා පනින්න එපා. හැකි ධෛර්යයක් දාලා හිනාවෙන්න. එයාගෙ  ගෝට්ටිය ඇහුනෙ නැති ගානට ඉන්න. මේ ගෑනිගෙ කට ගැලවෙන්න එකක් දෙන්න හිතයි කියලා හිතුණත් බැරි වෙලාවත් ඒක කියන්න යන්න එපා. ඔබට තරහා ගියොත් ඇගේ කට ගැසීම ගැන ආවේගයෙන් බැණ වදිනවා වෙනුවට සමච්චලේ වගේ හයියෙන් හිනාවෙන්න උත්සාහ කරන්න. නැත්නම් ඇයගේ තරහව ගැන පුංචි විහිළුවක් කරන්න. ඉතින් දත් ටික පොඩි කරන්න තර්ජනය කරනවා වෙනුවට කවට හිනාවකින් තමාට සංග්‍රහ කරන්න තරම් සැහැල්ලු හිතක් තියෙන මේ මිනිහා දෙවි කෙනෙක් ද කියලා ඇය පුදුම වෙන්නත් බැරි නැහැ.  ඒ විතරක් නෙමේ ඔබ වගේ සැහැල්ලුවෙන් ඉන්න ඇයට හිරිහැර, තර්ජන නො කරන දයාබර, ප්‍රියජනක පුද්ගලයෙක් ඇගේ ස්වස්වාමියා වීම ඇගේ වාසනාවක් බව දහස් වරක් නිහඬව සිතනවට සැකයක් නෑ. ඉතින් ඔබ ගැන ආදරයත්, බැඳීමත් විශ්වාසයත් වැඩි වර්ධනය වීම පුදුමයක් ද?



ඇය කරදරයක් හැටියට හිතන්න එපා


දවසේ පැය ගණනක් ම කන්තෝරුවටයි, තාවටය, පාරයටි, බීමටයි. යාළුවන්ටයි, විනෝදාංශවලටයි වෙන් කළාට බිරිඳ වෙනුවෙන් සුළු කාලයක් හරි වෙන් කරන්න බොහෝ සැමියන් අමතක කරනවා. සමහරු ගෙට ගොඩ වෙන්නේ ලෝක බෝලෙ ඔළුව උඩ තියාගත්තා වගේ බර බැල්මකින්. බිරිඳව ඈතට එළවා දමන මූඩ් එකකින්. වෙහෙසක් දැනෙනවා තමා දවස පුරා ම වැඩ කරල ආවම. ඒත් බිරිඳත් ඒක දැනගෙන තමා ඉදිරියට එන්නෙ . සමහරවිට  තේ වතුර එකකුත් එක්ක. සමහරුන්ට ඒ වෙලාවටත් ඇයව පේන්නේ පිටස්තර කෙනෙක් හැටියට. මහන්සිය විනාඩි තුනකට වර්ජනය කරලා අමාරුවෙන් හරි ඔබේ බිරිඳට ආදරණීය වචනයක් කියන්න.

ඇයගෙ ලෝක්කෙ පුරා ම මල් පිපෙන්නේ ඒ වගේ වෙලාවට.. . ඇත්තට ම දවස පුරා වෙහෙසිලා ගෙදර එන වෙලාවට බිරිඳ තියා දෙවියො වුණත් නිදහසට බාධා කරන, අවහිරයක් විදිහට පෙනෙන තරම් ඔබ විඩාපත් වෙලා ඉන්න පුළුවන්. ඒත් මෙච්චර විඩාපත් වූ ඔබට තවත් එක විනාඩි තුන හතරක් පරිත්‍යාගයෙන් කැප කරන්න බැරි නෑ. මහා ලොකු පරිත්‍යගවලට වඩා ඒ විනාඩි ගණනට ඔබ බිරිඳට දයාබරත්වය දක්වන මොහොතක් තුළ ඔබට/ඇයට දෙදෙනාට ම නොදැනී ඔබේ විවාහය වාසනාවන්ත ප්‍රීතිමත් එකක් කරන මිහිරි රසයක් හැංගිලා තියෙනවා.

කීයටවත් නෝන්ජලයෙක් වෙන්න එපා


තවත් දෙයක් මතක තියාගන්න. ඔබේ බිරිඳ සීයට සීයක්ම සම්පුර්ණ කෙනෙක් නො වන නිසා ඇයටත් වැරදි වෙන අවස්ථා තියෙනවා. වැරදි තීරණ ගන්න, වැරදි දේ තෝරන, වැරදි දේට වියදම් කරන, දූරදර්ශි ලෙස නො සිතන වෙලාවල් තියෙනවා.  ඒ වගේ දේ ඔබට තේරුණු වෙලාවට ඔබ කලහා කරගන්න, සණ්ඩු දබර වෙන්න අවශ්‍ය නෑ. ඒත් ඇය වැරදි බව ඔබට සීයට සීයක් ම ස්ථිර නම් ඇගේ දුර්වලකම් ආදරෙන් හොඳින් කිව්වට අහනෙත් නැත්නම් ඔබ ටිකක් තදින් හිටියට කමක් නෑ. ඉඳලා හිටලා නෑ, බෑ කියන්නත් ඔබට හැකියාවක් තිබිය යුතුයි. හැම තිස්සෙ ම බිරිඳ කියන දේට ඔබ එහෙයි කියන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන් ම කිසි ම බිරිදක් එහෙම පතන්නෙත් නැහැ. යටි හිතින් ඒගොලො කැමතියි සැමියා ඇතැම් දේට විරෝධය පළ කරනවා දකින්න.

ස්වාමියත් තහවුරු කිරිමට ඉඳ හිටලවත් තදින් ක්‍රියා කරනවට කොන්ද පණ නැති කෙනෙක් වගේ කියන කොයි දේත් හා එහෙමයි කිය කියා බිරිදට අනවශ්‍ය ප්‍රමාණයට බයාදු ගතියකින් ක්‍රියා කරනවට වඩා ඕනෑ ම බිරිඳක් කැමතියි තමාගේ ස්වාමීත්වය හිතින් එඩිතර, ප්‍රතිපත්ති ගරුක, හොඳ නරක දේ තේරෙන, ඒ   වගේ ම තමා වැරදි තීරණයක් ගත්තත් ඒ ගැන තදින් කියන්න හරි හැකියාව ඇති කෙනෙක් වෙනවට. එවැනි කෙනෙක් ඇයට ආරක්ෂාවක්, ශක්තියක් කියලා යටි හිතෙන් ඇය ගරුත්වයකින් ඔබ ගැන හිතනවා වගේ ම ඔබ ඇයට ලැබීම ගැන නො අනුමානව නිහඬව ආඩම්බර වෙනවා. ඉතින් ඉදහිටලා ඔබේ බිරිඳට ඔබ අහිංසක චණ්ඩියෙක් වුණාට කමක් නෑ. ඒත් ඔබ ඇයට රිදවිය යුතු නැහැ. ශාරීරිකව නම් පාරක්වත් ගහන්න අතවත් උස්සන්න එපා. ශාරීරිකව බිරිඳට අඩන්තේට්ටම් කරන, අතින් පහරක් හරි ගහන සැමියෙක් තමාගේ බිරින්දව ඥානවන්ත ලෙස මොළෙන් හසුරුවන්න නො දන්න නිවටයෙක් කියලයි මම නං හිතන්නෙ.  මානසිකව වුණත් ඔබ ඇයට රිදවිය යුතු නෑ. ඇතැම් තීරණවලදී ඔබ ඇයට මග පෙන්වන්නෙක් බව තහවුරු කරන ශක්තිමත් ස්ථාවරයක සිටිය යුතුයි.



උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු