boi-cope-reveal

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරින් 29 දෙනකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව පවසයි.  දෙදෙනකු බඳවා ගෙන ඇති අතර මේ  දෙදෙනාට වැටුප් රුපියල් දාහත් ලක්ෂ අනුදහසක් මාසිකව ගෙවන බවද එම කමිටුව සඳහන් කරයි.   මෙයට අමතරව විධායක අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයි ද කෝප් කමිටුව සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක  උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021 කාලයේ දී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන  සිද්ධියක් පිළිබඳව ද කෝප් කමිටුවේදී ඊයේ (11) දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප  රුපියල් ලක්ෂ 10ක් බවද එහිදී හෙළි විය.  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.  රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී  මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර ඇත. මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් හා විධිමත්  ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා රුපියල් කෝටි 335කට වැඩි මුදලක් විවිධ ආයතනවලට ගෙවා ඇති බව ද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය විය.


එම මුදලින් රුපියල් කෝටි 230ක මුදලක් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වැය කර ඇති බවත් අනෙක් රුපියල් කෝටි 105 ක මුදල බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වියදම් කර ඇති බවත් හෙළි වී ඇත.  මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව මෙපමණ මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී දීඝව සාකච්ඡා කෙරිණි.  මිල්ලනිය අපනයන සැකසුම් කලාපයට අදාළව ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 91.61 ක මුදලක් ගෙවා ඇති අතර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම  වෙනුවෙන් රුපියල් මිලියන 2088.39ක මුදලක් සේවා ආයතන වෙත ගෙවා ඇතැයිද  හෙළි විය.


ගිවිසුම්වලට ඇතුළත් වීමකින් තොරව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් වැය කළේ කුමන හේතුවක් මත දැයි කෝප්  කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේය.

එම අදාළ ආයතන සමග ගිවිසුම් වලට  මේ වන විට එළඹ ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය  මොහොට්ටාල මහතා මෙහිදී පැවැසීය. මෙම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා  මාස 03ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත්  කරන ලෙස කෝප් කමිටු සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.


බිංගිරිය අපනයන සැකසුම් කලාපයට අයත් ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු මේ වන විට මන්දගාමී වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.  2020 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත්  අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන 12ක වසාදමන ලද හෝ අත් හිටුවන ලද හෝ ගිවිසුම් අවලංගු කළ හෝ ව්‍යාපෘති සංඛ්‍යාව 484 ක් බවද කාරක සහාවේදී අනාවරණය විය.  ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනිමින් විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයන් 07 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළේය.


එවැනි සිදුවීම් මගින් ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය  මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන  සුසිල් ප්‍රේමජයන්ත, නාලක ගොඩහේවා, ඩී.  බී. හේරත්, ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රේම්නාත්  සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, එස්. රාමාණික්‍යම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


 -සුජිත් හේවාජුලිගේ-