Zimbabwes-Sri-Lanka---West-Indies-womens-match-suspended-due-to-omicron

දකුණු අප්‍රිකානු කලාපයේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබෙයි. 



එම තරගය අද හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබු අතර, එය අවලංගු කිරීමෙන් පසු තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා විය. කෙසේ නමුත්, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරගය මෙන්ම, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගය අද නියමිත පරිදි පවත්වා තිබෙයි.

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සියල්ල තවදුරටත් සිම්බාබ්වේ රාජ්‍යයේ රැදී සිටින අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒ පිලිබඳ අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේය.