නිවෙසේ සිට සේවා ස්ථානයට පයින් ගමන් කරමින් සිටි භාර්යාව මාළු පිහියෙන් කපා බරපතළ තුවාල කර
පලාගිය සැමියා දින 17කට පසු පොලිසියට පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුගිය නොවැම්බර් 03 වැනි දින උදේ ගින්නලිය සිය සහෝදරයාගේ නිවෙසේ සිට උෟරුබොක්ක නගරයේ පිහිටි සේවා ස්ථානයට පයින් යමින් සිටි 37 හැවිරිදි ආර්. දිස්නා සුභාෂිණී නමැති එක්දරු මවට ඇය එන
මාර්ගයේ රැක සිට මාළු කපන පිහියෙන් කපා බරපතළ තුවාල කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි
ස්වාමිපුරුෂයා ඉකුත් (19දා) නීතිඥයකු මඟින් පොලිසියට පැමිණ භාර වී ඇත. භාර වීමෙන් පසු
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී බිරියට පහර දීමට යොදා ගත් මාළු පිහිය දම්පහල,
පාසල් මාවත පිහිටි සිය නිවෙසේ පිටුපස ලී ගොඩක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

බිරියට තමන්
සමඟ එක නිවෙසක පදිංචියට එන ලෙසට අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටි බවත් එහෙත් එසේ එන්නේ
නැතිව වෙනත් පුද්ගලයන් සමඟ සිටින බැවින් ඒ තරහට පිහියෙන් කැපූ බවට පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ
සැකකාර ස්වාමිපුරුෂයා පවසා ඇත.

ස්වාමිපුරුෂයාගේ පහර කෑමට ලක්වූ භාර්යාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබන බවත් එම කාන්තාවගේ එක් අතක් වෙන්වෙන තරමට කැපී තිබීම හේතුවෙන් එම අත
නැවැත සිරුරට සම්බන්ධ කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෛද්‍යවරු උත්සාහ ගනිමින් සිටින බවට
පොලිසිය පවසයි.

සැකකරු භාර්යාව සමඟ පවුල් ආරවුලක් ඇති කරගෙන කලක සිට දෙදෙනා වෙන්ව ජීවත්ව ඇති බවත්
භාර්යාව හා දරුවා මව සමඟ සහෝදරයාගේ නිවෙසේ පදිංචිව සිටින අතරතුර මෙම සිද්ධිය ඇති වූ බව
මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්
සැකකරු පසුගියදා (20දා) මහෙස්ත්‍රාත් නිල නිවෙසේදී මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු
අජිත් ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කරන ලෙසට නියෝග කෙරිණි. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ දම්පහල පාසල් මාවත පදිංචි බමුණුසිංහ වෙලේගේ බුද්ධික ජය ශාන්ත 36 යන අයයි.

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. බී.ටී.ඩී. සමරවික්‍රම මහතාගේ උපදෙස් අනුව අපරාධ
අංශයේ ස්ථානාධිපති උ.පො.ප. පී. අබේවික්‍රම මහතාගේ අධීක්ෂණය මත පැමිණිල්ල වෙනුවෙන් පො.සැ.
පේමරත්න (56012), පො.කො. සඳරුවන් (68868) යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

ඌරුබොක්ක - අතාවුද පතිරණ