අවුරුද්දක් වයස සිය සිගිති දරුවාට අන්දවා ඇති පැම්පස් එක තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් සගවා තබාගෙන, ඒවා විකිණිමේ යෙදුණු බව කියන විසි හැවිරිදි පියෙක් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ මහල් නිවෙසකදී බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (30 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම දරුවාට අන්දවා තිබූ පැම්පස් එක තුළ සැඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 680ක් පමණ අඩංගු පැකට් 7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 680ක් අඩංගු පැකට් 1ක් ද සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 5 1 /2ක් පමණ එන බව පොලිසිය කියයි. මෙම නිවෙසේ සඟවා තිබූ කඩු දෙකක් ද පොලිසිය බාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන් ගාමිණි මහතාට (9574) ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සිය සිඟිති දරුවාට අන්දවා ඇති පැම්පස් එක තුළ සගවාගෙන මේ ආකාරයට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ පොලිසියට අසු නොවීමේ උපක්‍රමයක් වශයෙන් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
පොලිස් කණ්ඩායම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිඟිති දරුවා වඩාගෙන සුරතල් කරමින් සිටි බව කියති. අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ බිරිය සහ සිඟිති දරුවා ද සමග මෙම මහල් නිවාස සංකීණයේ පදිංචි නිවෙසේ මාසික කුලිය රුපියල් 35,000ක් බවත්, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ රුපියල් ලක්‍ෂ 1 ක් පමණ වටිනා සුනඛයකු ද සුරතලයට ඇති කරන බවත් පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval