sarath-weerasekara-speaks

උපන් දේශයට ආදරය නොකරනුයේ තිරිසනුන් පමණක් බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පවසයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර පෙරේදා (16දා) පැවති ප්‍රජා පොලිස් පත්වීම් ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.



රටක දේශයක ඉපදුනා නම් ඒ දේශයට ප්‍රේම කරන්නෙ නැත්නම් ඔහුගෙන් රටට පලක් නොමැති බවත් උපන් දේශයට ආදරේ කිරීමට හැකි වන්නේ මිනිහෙකුට පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය. බල්ලෝ, බළල්ලු, හිවලුන්, නරි වගේ තිරිසනුන්ට විතරයි තමන් උපන් දේශයට ආදරේ කළ යුතුයි කියලා හැඟීමක් නැත්තෙ යැයිද හෙතෙම කිවේය.

එහෙත් එම තිරිසනුන් පවා තමන්ගේ දරුවන්ට ආදරේ කරමින් තමන්ගේ දරුවන්ට අවැඩක් වීමට ඉඩ තබන්නේ නැහැ. මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින බහුතරයකට යම් යම් ප්‍රශ්න තිබෙනවා. ගුරුවරුන් වැඩි පඩි ඉල්ලා වර්ජනය කරනවිට අනිත් සියලුම සේවාවන් පවත්වාගෙන යනවා. පටු දේශපාලන වුවමනාවන් මත කටයුතු කරන කීහිපදෙනෙකුගේ බලපෑමට ලක්ව මෙම ගුරු වර්ජනය සාධාරණීකරණය කිරීමට කිසිවෙකුටත් නොහැකි බවද ඇමතිවරයා කියයි.

ගුරුවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් සාධාරණ වූවත් දරුවන්ට කරන අසාධාරණය කිසිකෙනෙකු තවදුරටත් ඉවසන්නේ නැහැ.


ලබන 21 වැනිදා පාසැල් ආරම්භ කිරීමේදී මුල්වරට පාසල් එන දරුවන් පවා මේ අතර සිටිය හැකි බැවින් එදිනට එම දරුවන්ට පාසල ඉතාමත් සිත්ගන්නා සුළු ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කිරීමට ගුරුවරුන් කටයුතු කළ යුතුයි.
එහෙම නොකළොත් ඒ අයට ගුරු දෙවිවරු කියන්න බැහැ.
මේ වන විට දමිළ සහ මුස්ලිම් ගුරුවරුන් තම ජාතියට දරුවන්ට ඇති ආදරය ලෙන්ගතුකම ප්‍රදර්ශනය කරමින් සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරනු ලබයි.
එහෙත් දකුණේ සිංහල අහිංසක දරුවන්ට තමයි මේ වර්ජනයේ බලපෑම එල්ල වී ඇත්තේ.

(කමල් සුරවීර - මහනුවර)