removes-30-treatment-centers-of-covid19--Dr.-Anwar-Hamdani

කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත  දන්වා සිටියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කළ බවයි.


මේ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට අද හැකිව තිබේ.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ඇඳන් තිස් හතර දහස් හතෙන් ඇඳන් දහනම දහස් හය සිය හැටක් මේ වනවිට හිස්වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු දැඩිසත්කාර ඒකක ඇඳන්වලින් සියයට හතළිහක් පමණද හිස්වී ඇතැයි පැවසුවේය.
කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති බවද පවතින තත්වය ආරක්ෂා කර නොගතහොත් රතු කලාපයට ඉතාම ඉක්මනින් යළි ගමන් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.