එල්.ටී.ටී.ඊ. ය මෙරටින් මුලිනුපුටා දමා වසර 12ක් ඉකුත්ව ඇති නමුත් එහි සෙවනැලි තවදුරටත් සැරිසරමින් සිටින බවට ඒත්තු ගන්වන සිද්ධියක් ඉකුත්වූ වාර්තා විය. සාම්පුදායික මොළ සේදීමකට වඩා එහා යමින් සෙලලොයිඩ් පටයක පාට කර ඇති ඒ සෙවනැල්ල වනුයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපණය කරමින් නිර්මාණය කළ “මෙතාගු" නමැති ද්‍රවිඩ චිත්‍රපටයයි. 

ඉකුත් ජුනි මාසයේ සිට ඉන්දියාව ඇතුළු රටවල තිරගත කිරීමට නියමිතව තිබු මෙම චිත්‍රපටය කොටි හිතවාදී දමිළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන 'කිට්ටු'ගේ අධ්‍යක්ෂණයකි. “මෙතාගු” යන්නෙහි සිංහල තේරුම “අතිගරු” යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය විසින් එළිදැක්වූවකි. කොටි ත්‍රස්තවාදීන්ගේ අසත්‍ය ජීවිත වෘත්තාන්තයක් වටා පැයකුත් විනාඩි 40ක් පුරා දින්වෙන මේ චිත්‍රපටය කාබෝජයේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබියදී එරට රජය විසින් තහනම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් යැයි කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.



හිටපු කොටි නායකයා උත්කර්ෂයට නංවන කතා තේමාවක් අඩංගු “මෙතාගෝ" දෙමළ චිත්‍රපටය සියලුම ආකාරයේ රූපවාහිනී හා කේම්බල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම නීතිමය කාරණා පදනම් කරගෙන චිත්‍රපටිය ප්‍රදර්ශනයට බාධාවක් පැමිණුන ද සිනමා ශාලාවන්හි තිරගත නොවූව ද ඉකුත් ජුනි 25 දින එහි ඩිජිටල් පිටපත නිකුත් කෙරිණි.

ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය සාමාජිකයන් වෙනුවෙන් 1990 දශකයේ මැද භාගයේදී කාබෝජයෙන් අවි ආයුධ මිලදී ගන්නා බවට විවිධ වාර්තා සහ චෝදනා ද එල්ල විය. මෙවැනි පසුබිමක් තුළ මේ ත්‍රස්තවාදී බලපෑමක් සහිත චිත්‍රපටය කාබෝජය තුළ ප්‍රචලිත කිරීමට 'කිට්ටු' නමැති තරුණ සිනමාකරුවන්ගේ උත්සාහය ලත් තැනම ලොප්ව තිබේ.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ටේ‍්‍රලියාව,බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව වැනි දෙමළ ඩයස්පෝරාවක් සහිත රටවල වෙසෙන ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත් මෙම චිත්‍රපටයේ අසත්‍ය ලෙස පෙන්වීමට උත්සාහ | කරනුයේ දෙමළ සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම තුළින් ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය යන වැරැදි සහගත මතයයි.

දෙමළ ජනතාව වැඩි වශයෙන් සිටින උතුරු, නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සදහා ශ්‍රී ලංකා රජය සහ දෙමළ දේශපාලනඥයන් ගිවිසුමකට අත්සන් තැබුණ ද දෙමළ ජනයාට නිල තත්වය ලැබීමට සිංහල බෞද්ධයන් කැමැති වූයේ නැත. බෞද්ධ භික්ෂුවක් විසින් ශ්‍රී ලංකාවේ එවකට අගමැති බණ්ඩාරනායක මරා දැමීම, සිංහල මැර කණ්ඩායම් සුළුතර දෙමළ ජනතාවට පහර දෙන බව අසත්‍ය දෑ වපුරමින්, මෙම චිත්‍රපටයේ වීඩියෝ පිටපත මුදාහරිනු ලැබ ඇත.

ප්‍රභාකරන් කුඩා කාලයේ ජාතිවාදය හා කෝලාහල හේතුවෙන් පීඩාවට පත් වූ බවත්, ඉන් පසුව, ප්‍රභාකරන් තම මිතුරන් සමග ශ්‍රී ලංකා රජය සිදු කළ සාහසික ක්‍රියාවන්ගෙන් පළිගැනීමට සැලසුම් කිරීමේ ව්‍යාජ කතාන්දරයක් ලොවට පෙන්වීමට මෙහි අධ්‍යක්ෂවරයා කටයුතු කරනු ලැබ ඇත.මියගිය එල්.ටී.ටී.ඊ. නායක වී. ප්‍රභාකරන්ගේ තරුණ කාලයේ චරිතාපදාන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූ දා කැරලිකාර සටන්කාමී නායකයාගේ 66 වැනි ජන්ම දිනය ද සමරයි. ඉන්දියාවේ සහ විදේශයන්හි සිටින කොටි ආධාරකරුවන් ප්‍රභාකරන්ගේ ඡායාරූප, වීඩියෝ සහ උපුටා දැක්වීම් හෑෂ් ටැග් සමග විටර් පණිවුඩ මගින් දෙමළ නායකයාගේ අනන්‍යතාවය ලෙස ප්‍රශංසා කරමින්,

පරිශීලකයන් ඔහුව විස්තර කරන්නේ “දෙමළ ජනයාගේ වඩාත්ම අවංක හා වඩාත්ම දක්ෂ හා ආදරණීය නායකයා" ලෙසය.

අසත්‍යය වන්නේ ද එයමය. මේ කියනා ත්‍රස්ත නායකයා එදා යුද්ධයේදී ජනතාව මිනිස් පළිහක් ලෙස යොදාගත් බව අප අමතක කළ යුතු නැත. චිත්‍රපටයේ විවිධ තොරතුරු තහවුරු කරගැනීම අසීරු වුව ද කොටි නායකයාගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කර දැක්වීම සඳහා අතීතයේ සිට සිදු කළ දෑ මෙම චිත්‍රපටයේ උත්කර්ෂයට නගා ඇත.ප්‍රභාකරන්ගේ 66 වැනි ජන්ම සංවත්සරය යෙදී තිබුණේ 2020 නොවැම්බර් 26 වැනිදාය. කෙසේ වෙතත්, සමහර ගැටලු හේතුවෙන් චිත්‍රපටය කල් දැමීමට නිෂ්පාදකයන්ට සිදු විය.

නැවත වරක ඉකුත් ජුනි මාසයේදී දෙවැනි වතාවට චිත්‍රපටය කල් දැමීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ පරිදි නීතිමය ගැටලු හේතුවෙන් බව කියැවුණත් ඊට හේතු පැහැදිලි නැත. මෙතගු චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූ කොටි නායක ප්‍රභාකරන්ගේ තරුණ අවදිය කුට්ටි මානි, ආනන්දන්, ඊර් බාෂා සහ විජය ප්‍රධාන චරිත නිරූපණය කරති. කුට්ටි මානි වේළුපිල්ලේ ප්‍රභාකරන් (එල්.ටී.ටී.ඊ. නායකලෙස ද ලිසි ඇන්ටනි එවකට ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ලෙසින් ද නිරූපණය කර ඇත. පළමු චිත්‍රපටය සඳහා ප්‍රභාකරන්ගේ ජීවිත කතාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතාගු චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ කිට්ටු ඉන්දීය මාධ්‍ය වෙත කියා සිටියේ, තමාගේ මනාපය වාණිජ චිත්‍රපටවලට වඩා අපේ ඉතිහාසයට කතා කරන නිර්මාණ සිදු කිරීමට බවයි. එවැනි කතන්දර දෙමළ ප්‍රජාවට කිව යුතු ඉතිහාසයයි.

මෙය සත්‍ය ඉතිහාසය, ඔවුන් කුල සහ ආගම් වශයෙන් බෙදී සිටින දෙමළ ජාතිකයන් වශයෙන් එක්වීමට අවස්ථාවක් ඇති බව කීමට තමා උත්සාහ කළ බව ද ඔහු කියා සිටී. ඊළම ගැන තමිල්නාඩුවේ ජනතාව දන්නේ 2009 වසරේ සිදු වූ යුද සිදුවීම් නිසා බවත්, නමුත් ඔවුන් ආයුධ ගැනීමට ගියේ ඇයි ද යන්න පිළිබඳ දේශපාලනය දෙමළ ජනයා නොදනිති. එසේ නම් ලංකාවේ සිදු වූ ආගමික දේශපාලනය කුමක් ද දෙමළ ජනතාව පීඩාවට පත් කළේ කෙසේ ද යන්න කියා පෑමට තමාට වුවමනා වූ බව ඔහු කියා සිටී. එසේම ප්‍රභාකරන්ගේ තරුණ අවදිය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා තමාට වසර දෙකක කාලයක් ගත වූ බව ද ඔහු කියා සිටී.

(තිළිණි ද සිල්වා)